වැව් පතුලේ තවමත්
ඉදි කරයි ඔහු
ආලකමන්දාවේ අනුරුව
ගෙබිම මායිම් ලකුණු කර
සතර කොන නිදන් කළා
ආරක්ෂක මුට්ටි
දහඩිය කඳුළු උණු කර
කහවණු කැට වැළලුවා
පාදම යට
පෝරණුව තුළ
දැවෙයි මැටි ගුලි
ගිනියම් වෙමින්
ගඩොල් ගල්
බැඳෙයි එකින් එක
මේසන් අතින්
දිනක කුලිය
රු. 1500/=
කෑමත් බීමත් නැතිව
බිරින්ඳෑගේ කනකර සැරසිලි අනා
පොඩි එවුන්ගේ සුරතල් හසරැලි පෙරා
කපරාරුව අහවරයි උලා
ඇස්තමේන්තුව
සිමෙන්ති කොට්ට - 50
වැලි කියුබ් - 2
ඔක්කොම - 52 යි
වැහි වලාවක දෙයියන්ට
කන්නලව් කළත්
බාර හාර වුණත්
කොතරම්
නැත වුනේ පලක්
කලු වැහි වලාවක්
අඳුරු කර අහස ම
වැවට ඉහළින්
නතර වී
කරවටක් වැව් දියෙන්
ගිලී ගිය’මුත්
වැව් ඉස්මත්තේ තවමත්
සෙවිලි කරයි ඔහු
ආලකමන්දාවේ පියැසි