Wednesday, August 29, 2012

ලිහිණිය

සිල් ගත්ත මගේ හිත ම
නුඹ එක්ක ළෙන්ගතුව
කාටත් ම කලියෙන් ම
පෙම් බැඳි අරුමය

ලිහිණිය සේ ඈත
හිමිදිරිය සරසන්න
මගේ මුළු දිවිය ම
නුඹ හට උරුමය

මා එක්ක දොඩමළු ව
මුදු සුවඳ දැවටිච්ච
සරසවියේ හැම තැනම
දැන් මට මිහිරිය

Tuesday, August 28, 2012

අරුන්දතිය

නිලම්බරේ පිපි
අරුන්දතිය
සොමි කැලුම් සලන
නෙත තවන දිය ඉසින

උයන්තෙරේ පිපි
කුමුදුනිය
රොන් සුවඳ සලන
නෙත පිනන රුව මවන

යොවුන්වියේ බැඳි
පෙම්වතිය
කඳුළු බිඳු පිහින
හිත හදන බස් කියන

Sunday, August 26, 2012

ආගන්තුකයා

නිදිවරා
වනපොත් කළා
මා නුඹ පතා
මොහොතකට
සුවපත් කළා
නුඹ ඇවිල්ලා

සති කීයද ?
දින කීයද ?

නුඹ ගියා
මා හැර දමා

Friday, August 24, 2012

දමිළ පෙම්වතිය

අපරිමිත ස්නේහයෙන්
ඈ මතුළ සෙත් කවිය
දමිළ බසින් ලියන ලද
ශ්ලෝකයකි
ටටහා ගනු රිසිව
මා හදළ ඒ බස
වැදගම්මකට නැති බව ය
කාගෙත් ම අදහස

ඉදින් මම අත් හළෙමි
ඈට පෙම් කරන බව

මතකයෙන් උදුරා දැමීමි
ඈට පෙම් කළ බව

Thursday, August 23, 2012

අපේක්ෂා භංගත්වය

ගැබ හොවා
සෙ‍නෙහසින්
සොම්නසින්
විලි වැද ලද
මළ දරු උපත

Tuesday, August 21, 2012

සඳ කිරණ නම් නුඹ

සිහිනය නම් නුඹ
නිදි තනිය බිඳ එබෙන
මගේ හිත තුළට
ආදරේ සුවය ගෙන එබෙන

සඳ කිරණ නම් නුඹ
සිහිල ගෙන ඇද හැළෙන
මගේ නෙත මතට
ආදරේ සොඳුර ගෙන හැළෙන

මද පවන නම් නුඹ
රොන් සුවඳ පිස හමන
මගේ ගත දෙසට
ආදරේ මිහිර ගෙන හමන

Monday, August 20, 2012

පාලම

ඉවුරු දෙක යා කළ
පාලමෙන්
ගඟ දෙකඩ වන බව
අරුමයක් ද ?

Sunday, August 19, 2012

අප්පච්චි

අප්පච්චි නුඹට
යන්න ඇහැකි නිවනට
අපේ තනියට
පෑයු ඉරහඳ අහසට

කඳුළු බිඳු කැට
සඟවා ළය මසට
අපේ කුස තුළට
දැමූ බත් කට රසට

අප්පච්චි නුඹට
යන්න ඇහැකි නිවනට

කඳු ශිඛර උසට
පියඹා විත් ගසට
කැදැලි බැඳ හිසට
තැනූ නිවහන අපට

අප්පච්චි නුඹට
යා නොහැකි නිවන කුමට