Sunday, August 31, 2014

කඳුළ

ඇහි දාර දිගේ හීතලට
නුඹ ගලා බසී හෙමිහිට
හුස්මක් හෙළමි අහසට
සිනහව උරුම නැහැ මට

ඇහැ දැන් හුරු යි අඳුරට
සැනෙකින් පියෙයි එළියට
ඇය නොමැති රැයකට
සඳ ඕනේ නැහැ මට

හිටි ගමන් ඇවිත් මතකෙට
සිහිලස සලයි දෙනෙතට
නුඔ ඉන්න තෙක් තනියට
මතක නැහැ හිනා වෙන්නට

ගමන

ජීවන ගඟ
කෙම කෙමෙන්
ගලා බසී

ඉතින්
මොකට ද
ඉක්මන් ගමනක්
සයුර
වෙරළෙ දී
මුණ ගැසෙන බව
දනී නම්

මිනිසා

දෙවියන්
ලෝකය ද
මිනිසා ද
මැව්වේ ය

මිනිසා
ලෝකය ද
දෙවියන් ද
මැරුවේ ය

මචන්

මචන්
දැන්
දෙමළ
වචනයක්
නෙවෙයි
බන්

සුළඟ

සුළඟ වගේ ඇවිදින්
හිත කිති කවා හෙමින්
ආයේ යන්න ද ඉතින්
දුරස් වන්නේ ළඟින්

පෙම්බර හිත අරන්
හැම රැයක ම හොරෙන්
එන්නෙමි සිහිනයෙන්
නින්ද ම කැප කරන්

සුන්දර නුඹ ළඟින්
ඉන්නෙමි හිත තියන්
දුක්බර කවි පොතෙන්
පිටුවක් පෙරළමින්

Wednesday, August 27, 2014

හැඩ

පැල්පතට
සඳ පෙනෙන
තරමට
සඳලු තලයට
නැති ලු
හැඩ

මේ රැය

මා පෙම් කරන
සඳවත
නුඹත් එක්ක
මේ රැය
පහන් කරනවා
නො වෙ ද
හිතවත

අහස

මම
පෙම් කරමි
අහසට
සඳ
තියෙන තාක්
එ තැන ම

Monday, August 25, 2014

මාළු අක්කා

ඉරිදා පොළේ
මාළු ලෑල්ලේ
ගුණවතී
ආදරේට
කවුරුත් ඈට
කිව්වේ
මාළු අක්කා

වෙළඳාම
හින්ද ම
ගොරහැඩි වෙච්ච
කටහඬ යි
උන්දැගෙ
බුලත් කහට බැඳිච්ච
දත් පෙළ යි
ඉරිදා පොළට
යන එන
උදවියට
බොහො ම පුරුදු යි

දවස
තිස්සෙ ම
සාලයො
කෙලවල්ලො
කුන්ඩලාවො
එක්ක
පිලී ගඳ ගහන
මාළු අක්කගේ
ජීවිතයට
සුවඳ අරන්
ලොකු කෙලී
ශිෂ්‍යත්වෙන්
ඉහළ ම
ප්‍රතිඵල ගත්තා

ඒකි ව
සිදාදියේ
ඉස්කෝ‍ලෙකට
දාගන්ඩ ඕනැ
‍පොළට ගොඩ වන
කාත් එක්කත්
උන්දැට
තිබ්බෙ එක ම
කාරණාවක්

ඒකි
දවසක
‍මේ කරදිය වැල්ලෙන්
එතෙර කරයි බං
අපි ව

ශාපය

මම දවසක කවියක් ලියාවි
අපේ ඉපැරණි මතයකන් හෙළි කොට
එ කවිය රසවිඳින අය
ප්‍රේමයට ශාප නො කරනු ඇත

අමාවක දා

පුරහඳක කාන්තියට
හුරු වෙලා තිබු නෙත
අමාවක අන්ධකාරයට
මැදි කළා නො වැ නුඹ

Tuesday, August 19, 2014

ආදර දෙවොන්දොරා

හ්ම්...
මටත් දැනෙනවා
මළවුන් අතරේ වුණත්
අපි තව ම හුස්ම ගන්නවා

ඒත්
වසන්තය අරන්
නුඹ ආවේ නැහැ තවත්
කමක් නැහැ
මං බලං ඉන්නං හෙටත්

හැම සීත කාලෙක ම
සකුරා මල් පිපෙනවා
හැම තැන
ඒත් එක්ක ම
ටික දොහකින්
පරවෙලා යනවා
සුවඳ පමණක් ශේෂ කර

මතක ද නුඹ
එක ම එක දවසක්
මගේ අතින් බදා ගත්තා
එ වෙලාවෙ ඝන වුණ
ලේ කැටියක් තවමත්
පපුවේ එක කොනක
ඇදුම් දෙමින් තියෙනවා

මේ...
ඇහෙනව ද
දෙවොන්දොරා
නුඹට නො දැනෙන්න
මළවුනුත් හුස්ම ගන්නවා

Saturday, August 16, 2014

ආදර නොරිකො

පුරුද්දට වගේ
තවමත් මම
මිදොරියට ගොඩ වෙනවා
බාග වෙලාවට
සකෙ උගුරක් දෙකක්
එක හුස්මට
බී ගෙන යනවා
එ වෙලාවට
නහර දිගේ
ගලා ගෙන යන්නේ
අමුතු සුවඳක්

හේමන්ත ඍතුව
නික්මෙන්න හැර
අපි ඇවිද ගියා
මතක ද අසකුසා වීදිවල
කළු වලාකුළුවලට යටින්
නියෝන් එළි
දැල්වෙමින් තිබුණා
එ හැම දවසක ම

අපි කොයි තරම්
සමීප ව උන්න ද
ඒත් අපි අතර තිබ්බ
සංවර කම
තොල්පතක උණුහුම
මනසින් වත්
නො විඳි වග
අපට සහතික යි
එ හැම රාත්‍රියක ම

සීත කාලෙක
එළියට ඇවිත්
සකුරා මල් පිපෙන හැටි
දැක ගන්න
කොයි තරම්
පෙරුම් පිරුව ද අපි

ඒත්...

අපි දුරස් වෙන්න
දුරස් වෙන්න
තව තවත්
සමීප වුණා
නො වෙ ද
නොරිකො

මේ...
නුඹට දැනෙනව ද
මළගිය ඇත්තන් අතරේ
අපි තවම හුස්ම ගන්නවා
ඉතින් වසන්තය වුණත්
ආයෙමත් ඒවි

නිහඬ දෙ තොල

මා
වඩාත් ප්‍රිය කරන්නේ
ඔබේ
තොර තෝංචියක් නැති
කථාබහට
නො ව

ගැඹුරු බවින් යුත්
නිහඬ
දෙ තොල් යුවළට ය

Thursday, August 14, 2014

සමනලිය

සරසවි සමනල අඩවියේ
සිරිපා පතුළ වඳිනා වෙලේ
සමනල සමනලියන් අතරේ
එ සමනලිය සොයමි රහසේ

පර්යාලෝකය

දුර ඈතක නමුත්
රේල් පීලි වාගේ ම
ළං වෙලා ඉමු
අපි හෙටත්

දෙ තොල

දහසක් දෙ තොල් සිඹිමින්
සොයා ආවේ
නුඹේ දෙ තොල යි

නිකබය

කළු ලෝගු හැඳගත්
යුවතියන් රෑනේ
නිකබය අතරින්
එබිකම් කළ
එ දෑස
තවමත් සොයමි

Tuesday, August 12, 2014

හීන

හීන මට
පාර කියනවා
නුඹ ළඟට එන්නට
රාත්‍රියට විතරක්

ඡායාව

අහසේ ඡායාව
විල් තෙරට වැටී

සඳ විල් තෙරේ කිමිදෙනවා
තරු නන් රටා අතුරනවා

මේ රාත්‍රියේ
නිහඬ බව
ආදරේ ගීතිකා මුමුණනවා

අවතැන් වූ සිත

කප්පරක් හීන අරගෙන
ඔයා ඇවිදින් මා වෙත
රත්තරන් පාට අහසක
කළා අවතැන් මා සිත

මිරිඟුව

මිරිඟුවක් වුව
සහනයකි
නො සි‍ඳෙන පිපාසයකට

ගැලරියට

මා කවි ලියන්නේ
ඇයට මිස
ඔබට නො ව

යාල් දේවිය

යාල් දේවි දුම්රියේ
ඉදිරිපස අසුනකට වී
මම බලා සිටියෙමි
ඇය එන තෙක්

සාවිත්‍රි

මට මුණගැහුණේ
මීට කාලයකට ඉස්සර
උප්පැන්න රෙජිස්ටාර් කන්තෝරුවේ දී
කැඩි කැඩි වුණත්
හොඳින් සිංහල බස උසුරවපු
ඇගේ ලාලිත්‍යය
මගේ සිත ගත්තා

එ අපි දෙන්නගෙ
මුල් ම හමුවීම

දරුවගේ උප්පැන්නෙ වැඩවලට
රජයේ කන්තෝරුවට
ගාටන්න වුණත්
එ තෙහෙට්ටුව
සාවිත්‍රි‍ගේ ඇස් ඇතුළෙ
මං දිය කර හැරියා

දවස් කිහිපයක් තිස්සේ
මතු වෙමින් තිබුණ
ආද‍ර උල්පතේ සීතල
එක දවසක්
හදවතේ බිත්ති ඇතුළට
කාන්දු වෙමින්
සිරුරෙ ම උණුහුම නිව්වා

‍එ වෙද්දි
කොටුව ස්ටේෂම
පහු කර ගෙන
යාල් දේවිය
ඉදිරියට ඇදී තිබුණා