Tuesday, December 2, 2014

(නි)වහලා

නිවහල් මිනිසකුගේ කස පහරින්
වහලකුගේ උරහිස වූ කැළලින්
රෝමය එක්සත් කළ නිරිඳුන්
සීසර් උතුමාණෙනි අප දැන් සතුටින්

ඔද වෙයි අප හද රණ කාමෙන්
තෙද බල අදිරද නුඹෙ නාමෙන්
වහලුන් උරෙනුර ගැටි දසුනෙන්
පිනවෙයි අප හද රත් පෑ ලෙහෙයින්

සව් දිය පුරවමු ජය බිම දිනුයෙන්
වැන්දඹු උන් සනසමු රති කෙළියෙන්
සැණකෙළි මැද නංවමු ඔල්වරසන්
කම් නැහැ සොයුරනි මළ උන් වහලුන්

දෙ පිල

දැන් ම
බෙදෙමු ද
දෙ පිලක‍ට
ලෝක යුද්ධයක්
එන්න
නියමිත ලු

වසන්තයේ

සැළමුතු දෙනෙතක් දැකගනු රිසියෙන්
ජීවන මාවත සක්මන් කරනෙමි මම
දහසක් නෙත්සර මඟහැර ‍වසන්තයේ

වනමල් කැකුළක් සිපගනු රිසියෙන්
හද කුටියේ දොරගුළු හරිනෙමි මම
බිඳිමින් බඹසර සංවර වසන්තයේ

හදවත් දෙතැනක් එක්වනු රිසියෙන්
ප්‍රිය ළඳුනේ තුරුළට ගන්නෙමි මම
නිවමින් ළැමහස සරතැස වසන්තයේ

පෙම්බරී

කල්පාන්ත සිහිනෙක
වුව
පෙම්බරා මම වෙමි
නුඹ
පෙම්බරී නම්

මුණ ගැසීම

වසන්තයේ එක් ඉමක
නුඹ මුණ ගැසෙනා තුරු ම
ආදරය ගැන අංශු මාත්‍රික
සංවේදනයක් වුව
නො දැනී තිබුණා පුදුම ය
හැකි නම් අදහන්න
හෘදයේ කුටීර වෙත
එ‍ තෙක් රුහිරු පමණක් ය
ගලමින් තිබුණෙ
දැන් ආදරය ද උණුහුම් ව
ගලා යන හඬ ඇසේ
ඉන් ප්‍රාණවත් වන සියොළඟ
පැතිරේ වසන්තයේ මිහිරියාව
ඉතින් හුදෙකලාව අතහැර
නුඹෙන් ජීවන සුව විඳිමි

නිදහස

දෑත් බැඳි
විලංගුව
සිර කුටිය තුළ
මුදා හැරි පසු
උරුම විය
මා පැතු එ
නිදහස

ඉවුර

නුවන් ඉවුරේ
කෙමෙන් කෙම
ගැටී විසිරී
අහස් ගඟ ගලා බසී
ස‍ඳේ සීතල සොරා‍ ගෙන

ඉතින් සොඳුරිය
රාත්‍රිය පුරාවට
නුවන් තල නො ගැටෙන්න
වග බලා ගමි
ගඟට බාධා නො වන්න

සැඩ සුළං මැද

මා පැද යන
ඔරුකඳ මතට
ඈ ගොඩ වූයේ
අහම්බයෙනි

එ දවස
සැඩ සුළං මැද
හබලක් නො වූයෙන්
ඇගේ ඔරුකඳ
මුහුදු බත් ව
යන්නට
පෙර නිමිති තිබිණ

එ තරම්
ඉඩ නො තිබුණු
ඔරුකඳ තුළ
අප ළං ව උන්නෙ
හුස්මකට පවා
අවහිර වන තරමිනි

එහෙත් සිත තුළ
තවත් බැමි ලමි
රාගයේ සැඩ
සුළං කෝඩයට

නමක් නැති කවියක්

නමක් නැති
කවියකට
ඉඩක් ති‍යනව ද
ඔය හිතේ
පොඩියට

අනන්තෙක

විසල් අවකාශය තුළ
මට නුඹට කියා
ඉඩක් නැති මුත්
ඉන් එහා
අනන්තෙක පා වෙමු ද
සොඳුරිය
ලෝකයට හොර රහසෙ අපි

එ වදන

නුවන් දහසක් අතර පටැලී
සරසවි මාවත් දිග සැඳෑවක
පියමන් කරන සඳ නුඹ
සවන් පත් අද්දරට ළං වී
ආදරෙන් කොඳුළ එ වදන
අදත් ම'වෙත මිහිරික් ගෙනේ
මිහිරිය

එ තැන් පටන්
ප්‍රේමයේ ස්නිග්ධ බව
දැන හැඳින ගතිමි මම
එහි හැඩය එහි පැහැය
හඳුනා ගතිමි මම
ඉසියුම් ම තැන්
ආදරෙන් වැළඳ ගතිමි
දිවි ඇති තුරා රැක ගනිමි
ඔව්! ප්‍රාණය හා සම ව
නුඹ රැක ගනිමි
මිහිරිය

පිනි බින්ද

ඇහි පියන් අතර
පිනි බිඳක් ඇහිරිලා
ගනඳුරින් දුරක
සඳ මදක් බොඳ වෙලා

සීතල

වැස්ස
නුඹත්
ඇද හැළෙන්නෙ ම
උණුහුම
තදින්
උවමනා විට දි ය

චුම්බනය

දුන්හිඳ ඇල්ල පාමුල දී
මතක ද අපේ ඇස් හතර
ජීවිතේ පළවෙනි වතාවට
අපට මඟ හැරිච්ච දවස
එ මොහොතෙ
අපි දෙන්න අතර තිබ්බෙ
හරියට ම වියතක් විතර දුර

එ ඇසිල්ලට සියුම් ලෙස
දෙතොල් තල මතින්
දිය පහරක් ගලා ගියා හෙමිහිට

හන්තාන හඳ යට

හන්තාන හඳ යට
ආයෙමත් දවසක
හමු වෙමු ද සොඳුරිය

එ දවස
එක හුස්මකින්
ජීවිතය පණ දුන්
සුන්දර ම සිව් වස
‍මෙනෙහි කරමු අපි
මහවැලි ඉවුර දෙස
නෙත් යොමා යළි

එකට බැඳුණු
අතැඟිලි ලිහෙද්දි ම
කාලයට ඉඩ දෙමු අපි
නුඹ කීවා මතක ද
වෙන් වෙන්න
මොහොතකට පෙර

එ දවස
නුඹේ ළය මත
ඉන් බි‍ඳෙන
හද ගැස්මට කන් දී
නිහඬ වුණෙමි මම
හන්තාන අහස වට
කළුවර නැගෙද්දි ම

හන්තාන හඳ යට
ආයෙමත් දවසක
හමු වෙමු ද සොඳුරිය

හස්තියා

රැහෙන් වෙන් කර
පන්සලේ යදමක
දෙපා ලූ
පින්වන්ත හස්තියා
මම වෙමි

පෙරහැර මංගල්ලෙ දා
කරඬුව වඩමවන අතරතුර
නුඹ ව දුටු කල
දෙපා යුග පැටලී ගියා
නො දැනි ම

පරණ මතකෙක මා
අතරමං වී හිඳින අතරතුර
දෙපා පසාරු කොට
හෙණ්ඩු තුඩ එබී තිබුණා
රවා ගෙන

වේදනාවෙන් මිරිකී
රාගයේ මදයෙන්
කිපුණු
නො හික්මුණු නාලාගිරි
මම වෙමි

පෙරවදන

කැලෑ හඳ යට
හාදකම් කළ හද
සිදාදියේ අද
තනිකම දැනෙනව ද

ලියුම් කඩදහියක
ලියා එවමි මම
නො ඉඳුල් උණුහුම
දැනෙනව ද තව ම

බදා ගෙන උර
ආදරෙන් මුමුණපු
කඳුළු කවියක
පෙරවදන ද මෙය

මාලති පෙති

මාලති පෙති හැලී ගිය
සුමුදු සයනෙක වැතිර
බඹසරින් මිදි සැඳැවක
නුඹේ වත නෙතේ පටැලිණ

සරාගී පටලයෙන්
යථා තතු සැඟවුයෙන්
අඩ අඳුරු අහසට
රහසිගත ව ම
රැය පහන් වී ගිය අපූරුව

හිත දෙස

ජීවිතය දිගු ගමනකි
විරාමයකට ලොබ හිත
සුසුම්ලන අතරතුර
නතර වී බැලුවෙමි
හිත දෙස

පුදුමයකි
හිත ද මා දෙස
බලා සිට

ජීවිතය දිගු ගමනකි
විරාමයකට ඉඩ නැත
නැවතුමක් අවැසි නම්
නතර වී බැලුවට
කමක් නැහැ සදහට

Friday, October 24, 2014

ගල් කොරියෙ බිසෝ

පිරිමි අත් වගෙ රළු අතින්
ගල් කොරියෙ ගල් කඩන
බිසෝ උඹ
මහ මෙරක් වගෙ
දුක් උහුලනා හැටි

පාන්දරින් ඇහැ ඇර
ගෙදර වැඩපළ කර
වැඩ මුරය වෙත
කඩිමුඩියෙ ගාටන
පියකරු කළු මුහුණ
සිපගන්න ගල් වැටිය
බලන් ඇති ආසාවෙන්

මද්දහනෙ ගිනි කට්ටෙ
රත් වෙච්ච ගල් වැටිය
හැන්දෑවෙ හීතලට
නිවෙන කොට
උ‍ඹෙ පපුවටත්
දැනෙනවා ඇති
එ සීතල
ගෙට ගොඩ වෙන කොට ම

වෙහෙස නො හැර
ගෙදර වැඩපළ කර
නිදි යහන වෙත
දයාබර ව ඇදෙන
පියකරු කළු මුහුණ
සිපගන්න දරු පැටියා
බලන් ඇති ආදරෙන්

කළුවර හැන්දෑවක
තනි වෙච්ච වාඩියට
ගොඩ වුණ පවට
උඹෙ පපුවත්
ඇවිළෙනවා ඇති
එ මුහුණ
මුණ ගැහෙන හැම විට ම

බත්

චන්ද්‍රසේකරන්
උඹ අපි
මනාප නො වුණට
එන්න කියාපන්
අවුරුද්ද දවසට
උඹෙ පොඩි එකාට
කිරිබත් කෑල්ලක්
කාලා යන්න
උෟ අතේ
පුළුවන් නම් එවාපන්
පොංගල් බත් කටක්
හරි ම රහයි බන්
මූණට නො කිව්වට මං

නො තනිය

අහස නම්
නුඹට
තනි නැති ව ඇති
සඳ පායාපු
දවසට

මහ පොළොව

මහ පොළොව
උල්පතක් මවා
මිනිසුන්
සුවපත්
කළේ ය

මිනිසා
සුළු දිය හෙළා
මහ පොළොව
අපවිත්‍ර
කළේ ය

ළතැවුල

ඈත අාකාසයෙන්
ඇද හැළෙන
සඳට දාව උපන්
සිහිල් ගංගාවක
මුහු ව තිබුණේ
නුඹේ මෘදු බව ය

මෑත දෑස මානයෙන්
ඇද හැළෙන
නුඹට දාව උපන්
කඳුළු කැටයක
රැඳිල තිබුණේ
මගේ ළතැවුල ය

සැහැසි හිරු

හිරු සැහැසකම්
කළත් මොන තරම්
නො හැකි ය සඳට
නෑවිත් ඉන්න අහසට

අඳුර

සමුගන්න
මොහොතකට පෙර
අඳුරු කළ අහස
තවමත් එතැන ය

වැස්ස දාක

එදා මහ වැහි මැද
මල් දෙවැටට මැදි වෙච්ච
හතරැස් ගල් අල්ලපු
මාවත දිගේ කුඩේ යටින්
අපි අඩිය තිබ්බෙ එකට ම

කුඩේ ඈතට කරල
වැස්සට මාව තෙමද්දි
ඔයාගෙ කෝල කමට
සීතල කොහේ ගියා ද මන්දා

වැස්ස තුරල් වෙන්න කියල
කවුරුත් ම වගෙ පෙරුම් පුරද්දි
අපි වැස්සට ලෝබ කම් කළේ
එ වෙලාවට උණුහුම වැඩියෙන්
දැනෙන ‍නිසා වෙන්න ඕන

හැමදාම වැස්සෙ නැතත්
ඉඳහිට මල් දෙවැට මැදින්
ඇවිද ගෙන යද්දි
එ උණුහුම අදටත් එ ලෙස
දැනේන‍ෙ මට විතරක් ද මන්දා

වෙන්වීම

හිරු එන්න
මොහොතකට කලින්
සඳ යන්න
නියමිත ය අහසින්

ගන්ධබ්බ හිත

නිරාමිෂ අරණක
දැහැන් වැද හුන්
බවුන් සිත
ගිමන් හැර
එමු යි කියා
අරන් දුර
නුඹ යි ගියේ

තුරු වදුලු මැද
විරාගී ව පියා උන්
දෙනෙත් මත
අඳුන් රස
නුඹ යි
තැවරුවේ

තරු පොකුරු යට
නිසංසල ව උන්
දෙතොල් මත
සඳුන් සුව
නුඹ යි
තැවරුවේ

කාමයට ප්‍රිය
ප්‍රාණියකු කොට
ප්‍රේමයේ ගන්ධබ්බ හිත
මරා දැම්මේ ද
නුඹ යි
සොඳුරිය

Monday, October 6, 2014

ළයේ හිස්තැන් සොයා

සරත් ඍතුවේ එක් ඉමක
නිශා යාමයේ වෙරළ මත
අපි ඇන්ද දහසකුත් කුරුටු
රළ ඇවිත් ගසා ගෙන යද්දි
ආදරේ උණුහුම විතරක් ම
වැලි කැට අතර රැඳෙන්නැති

දියඹ කෙළවර ක්ෂිතිජ ඉම
හිරු ගිලෙන කල අඳුරු කර
ජල තලය මත කිරණ හෙළු
සීතල ම සියොලඟ එතෙද්දි
නුඹේ උණුහුම විතරක් ම
ළයේ හිස්තැන් සොයා ඇදෙන්නැති

විසල් ලා කළු අහස යට
හුදෙකලා පෙම්වතුන් ලෙස
වදන් මුව අග අගුළු ලා
හිරිකඩින් ගත කිලි පොළද්දි
දෙතොල් උණුහුම විතරක් ම
වෙරළ මත හැපෙමින් දැනෙන්නැති

කසුප් හිමි පාමුල

අප්පච්චි නුඹටත්
දවසක උවමනා වෙන්නැති
ජීවිතේ මහ බර
මදක් ඈතින් තියන්න
හුදෙකලා අරණකට ගොඩ වැද
සමාධියකට සම වදින්න
විදර්ශනාවක් එහෙමත් වඩන්න
එහෙත් අප නිසා නුඹ ලත්
දහසකුත් කම්කටොලු
බාධාවක් ම වෙන්නැති
පාරමී පුරන නුඹෙ බෝසත් සිතට
සත්තක යි අප්පච්චි
නියත විවරණ ලබන්නට විතරක්
ආයෙමත් එන්නම් නුඹ ළඟට
කසුප් හිමි පාමුලට සිදුහත් ආ ලෙසට
එ දවසට පමණක්
කමා කළ මැන

මධු සාදේ

මකරන්ද මධු සාදේ
ඇරයුම් නුඹට මිතුරේ
බඹරුන් පමණක් ය ඕනේ
මල් තලා රොන් ගන්න යාමේ

භාවනාව

මේ රැයේ සඳ
භාවනාවක

ඉතින් තනි ව ම
අකුරු අමුණමි
නිහඬ බව
නිමා වන තුරු

තිතක්

තිතක්
උවමනා කර තිබේ
දිවි වැකිය
අහවර කරන්නට

තනියට

කඳුළකට
කියනව ද අද රෑට
ඇවිත් යන ලෙස
මගෙ පැලට

සමාවෙයන් කිරිල්ලියේ

අත්තටු ලිහෙන තාක්
පියාසර කළ හැකි වග
කිරිල්ලියේ උඹ
මොහොතකට හිතාපන්

ජීවන බරින් මිරිකී ගිය කල
අපේ පුංචි කැදැල්ල
වන පෙතෙන් එපිට
සිදාදියට නුඹ යැවූ වරදට
සමාවෙයන් කිරිල්ලියේ
දහස් වරක් මට සමාවෙයන්

සිදාදියට නුඹ ඉගිල ගිය පසු
වනපෙතේ දුක්මුසු ම තැන්වල ලැග
සොයා ආවා නොයෙක් ඵලවැල
පැ‍ටවුන් තුඩ තියා හාමතේ උන්නෙමි
උඹත් එහෙම නම්
සමාවෙයන් කිරිල්ලියේ
දහසක් වරක් මට සමාවෙයන්

දුක දරා ගෙන ඉන්න
මගේ ළෙන්ගතුකම මදි වුණි ද බං
ආයේ නෑවිත් ඉන්න තරමට
සිදාදියේ ඵලවැල රසබර ද බං

අත්තටු ලිහෙන තාක්
පියාසර කළ හැකි වග
කිරිල්ලියේ උඹ
මොහොතකට හිතාපන්

කුරුලු පන්ති

කිරිල්ලියේ මට කියාපන්
නුඹ අයිති කාකගණයට ද
නැතිනම් ඉග්සිනිඩේ කුලයට ද
එහෙත් නැතිනම්
මැඩගස්කරය නිජබිම කර ගත්
මෙසිට් කුලයට ද

නො එසේ නම්
මිනිසුන් ම වෙන් කළා මිස
පන්තියක් කුලයක් භේදයක්
නුඹට ‍නොමැති බව
කියාපන් කිරිල්ලියේ
මට කියාපන්

ලොව ම විරසක දා

නො තිත් අනාදර මැද
හෙම්බත් ව ගිය කල
සොඳුර නුඹ මට
ඉසිඹුලක් ම විය

හිතේ නිසසල බව
සොයා යන විට
මාවත කියා දෙන
පහන් ටැඹ ලෙස
ලොව ම විරසක දා
හිතවත් ව හිටි
එක ම එක
ගැහැනිය නුඹ ම විය

නො තිත් අනාදර මැද
හෙම්බත් ව ගිය කල
සොඳුර නුඹ මට
ඉසිඹුලක් ම විය

නියඟලා පුෂ්පය

නියඟලා පුෂ්පය
මම වෙමි
කවියන්ගේ
හිත් නො ගත්

පෙර ඡන්මෙක මමත්
සුදු නෙළුම ලෙසින්
සොඳුරුබර විල් තෙරක
පිපී උන්නා අහස යට ම

නපුරු බඹරකු අතින්
මුදු කීලය සිහින්
රුදුරුතර මුව තුඩක
ඇනී බිඳුණා වසත් කල ම

නපුරු බඹරුන්ට
රුදු වසක් වන්නට
ලොව ම සතු සියලු විෂ
උරා ගත්තෙමි
සොඳුරු කුසුමන්ට
සරු පසක් වෙමින්
පොළොව සතු සියලු විෂ
උරා ගත්තෙමි

නියඟලා පුෂ්පය
මම වෙමි
කවියන්ගේ
හිත් නො ගත්

හිරිමල් වැහි

මා නුඹෙන් පැතුවෙ
මද සුළඟ ගෙනෙන
හිරිමල් වැහි පොදකි
අසෙනි වැසි මැද
කුණාටුවක් නම් නො ව

සෙනසුන

දඟකම් පාමින් කෙළි කරන
කොලු කෙළි පැටවුන් ද
විවාපත් විඩා හැර යන
නෙක ගැහැනු පිරිමි ද
පෙම්වත් සිතුවිලි ඇහිඳින
යෞවන යෞවනියන් ද
සැඳැ කල වීදි දිග ඇවිදින
මහලු මැහැලි උදවිය ද
බොහෝ වෙති මෙහි
සැප ම සොයා එති

උයන් විසිතුරු නරඹන
දනන් නෙතුයුග සනහන
විමන් තුරුලිය සරසන
ගණන් නො ගෙන ම දෙන

ගමන් සරතැස මිරිකන
ලවන් අමරස තවරන
සවන් ගීසර රඳවන
අවන් හල් වෙති හැමතැන

දියත නම් වෙති උයන
දියවන්නාව අසබඩ

සඳුන් සිහිලස තවරන
නඳුන් උයනකි මත්වන
දසුන් මලසුන පරවන
නුවන් තිමිරය මුදවන

බවුන් අරණක සක්මන
දැහැන් ගන්වන ඉක්මන
සුරන් සිතුවිලි රඳවන
නිවන් පුරයට ගෙනයන

මෑතකට වන්නට
විපස්සනා සෙනසුන

දඟකම් පාමින් කෙළි කරන
කොලු කෙළි පැටවුන් ද
විවාපත් විඩා හැර යන
නෙක ගැහැනු පිරිමි ද
පෙම්වත් සිතුවිලි ඇහිඳින
යෞවන යෞවනියන් ද
සැඳැ කල වීදි දිග ඇවිදින
මහලු මැහැලි උදවිය ද
බොහෝ වෙති මෙහි
දුක ම කෙළවර කරති

මතකය

ඈ ගැන
මතකයෙන්
හිත හිස් කර ගනු වස්
මත් බඳුන
හිස් කළෙමි එක හුස්මට

ශාන්තිය

සිරිමල්
බෝධිය පා මුළ
උඹ ලබන
ශාන්තිය ද
එය ම ය

සුධාකරන්
කෝවිල ඇතුළෙ
උඹ ලබන
ශාන්තිය ද
එය ම ය

මොහොමඩ්
පල්ලියෙ අල්තාරයේ
උඹ ලබන
ශාන්තිය ද
එය ම ය

මයිකල්
කුරුසය පපුවෙ ඇඳ
උඹ ලබන
ශාන්තිය ද
එය ම ය

සුළඟ

සුළඟක් වගේ
හිස් අතින්
මොහොතකට
පාවෙලා එන්න
හැකි නම් නුඹ ළඟට

එ ඇවිත්
නුඹට නො දැනෙන්න
ගැටෙන්නම් සිහිලසක් වී
මුදු දෙතොල් මත

සිතුවම

ප්‍රියාදර සිත්තරාවිය
මහද කැන්වසයේ
නුඹට රිසි සේ
එ සිතුවම කළ මැනවි

ඉතිකින්
නිමා කළ සිතුවමට
නමක් තියමි
ආදරය ලෙස

කවිකාරි

මහද පන්හිඳ
සොරා ගත්
එ කවිකාරිය
සිහිනෙකින් වත්
හැඳින ගන්නට
නො හැකි හැටි

සැමරුම්

ඈ දවා ලු
සැමරුම් මත
ඉඳහිට මමත්
දැවෙනවා
නො දැනි ම

Sunday, September 21, 2014

දිනපොතෙන් ඉඩක්

ප්‍රියංවදා
නුඹට හැකි ද දවසක
හැම දෙයක් ම අතහැර
එන්න මා වෙත

යාපනෙ සරසවියේ
අකුරු කළ සිව් වසරේ
මොහොතකට වත් අපිට
හිතුණෙ නැති හැටි
පෘථිවිය භ්‍රමණය වන වග
කාලය නො නවතින බව

කැඩී කැඩී නුඹ
දෙමළ අකුරු අහුලපු හැටි
වරද්දන කොට සිංහලෙන් මං
ඔච්චම් කරපු හැටි
හැම දෙයක් ම
නිහඬ ව අහ‍ ගෙන
ඉන්නැති මහපොළොව

අම්මා අප්පච්චි සනීපෙන් ද
අයිය ලා තාමත් එහෙම ද
වලාකුළක් වත් නැති ද නුඹට
දුක සැප ලියා එවන්නට

දවසක් ඒවි කෙල්ලෙ
මහපොළොව අදහන
ආදරය ගැන
ආදරය ගැන විතරක් ම
එහෙම දවසකට ඉඩක්
පුළුවන් ව‍ුණොත්
තියාපන් නුඹෙ දිනපොතෙන්
ආදර ශංකර් නමින්

පිනි බින්ද

රැය පහන් කර
හිරු එළිය එද්දි ම
නුඹ කොහේ යන්න ද
පිනි බින්ද
ඇවිත් හැංගෙන්න
ඇහි පියන් යට
කාටවත්
නො පෙනෙන්න

රාමසාන් දවස

ෆාතිමා අපි
පර්දාව උනමු ද
රාමසාන්
දවසෙ මට
සඳ බලන්න
ඕනේ මැ යි

නිරාමිෂ අරණ

අර ඈත නිම්නය
නුඹට පේනව ද
එක යායට හීනියට
පිනි බින්දු රැදුණු
තණ පළස
එ අතරින්
සංවර ව ගලා බසින
පුංචි ‍‍දොළපාර
එ දිගේ ගැඹුරෙහි
එක පෙළට පිහිනන
මීන කැළ
උන්ගෙ දැඟලිල්ල
මොන තරම් අපූරු ද
එ සිතුවම

එහෙත් මිහිරිය
වසන්තය අහවර ව
හුදෙකලා මොහොතක
එ දසුනෙ අනියත බව
මෙනෙහි කොට
වඩමි විදසුන
නිරාමිෂ අරණක හිඳ

ලංගම

හද්ද පිටසර එහෙත් සුන්දර
ගමකි සුමිතුර ලබා ගුරුවර
ආයෙමි දුෂ්කර පළාතක දඹගිර

කළා නම් ඡන්දෙට වැඩ
ගන්න ඇහැකි ලු
කොළඹට ට්‍රාන්සර්
ටවුමෙ මිතුරු කැළ
කථා වෙනව ලු
අම්මා අහගෙන

රතු ම රතු ලංගමය
ටිකක් විතර අවපැහැ
දන්න අඳුනන උදවිය
නිතිපතා ගොඩ වෙන

බසේ රියදුරු නන්දන
මුව පුරා හිනාවෙන
ගුණපාල කොන්දොස්තර
හිත පුරා දොඩවන

දහයෙ කණිසමට
අවසන් රෑ මුරය
වෙහෙසකර මුත්
රජයේ සේවය නෙ

නිශාන්තය

නුඹ මගෙ ම නම්
නිශාන්තය පුරාවට
සඳක් අවැසි නැහැ
එහෙම නම් අහසට

කොත්තු කඩේ සෙල්වා

යාපනෙන් කොළඹ ආ
කොත්තු කඩේ සෙල්වා

රත් වෙච්ච තැටිය මතට
තෙල් බිංදු කරස් ගා වැටෙද්දි
කළු පපුව පිච්චෙන්නෙ නැති ද බං

ලද විරාමෙට ගිහින් ඈතට
දුමක් දල්ව ගෙන
පෙනහල්ලෙ හිර වුණ
වෙහෙසකර හුස්ම ටික
වීසි කර ඉහළ අහසට

ආයේ ඇවිදින්
කැඩී කැඩී වෙන් වුණ
රොටී කෑලි ටික
එකට එක්කහු කරන
අපූරුව උඹ

Friday, September 19, 2014

අඹ ලෑලි බංකුව

අඹ ලෑලි බංකුවක
උණුහුමට ළං වෙලා
සඳට දුර මැන්නෙ
අපි දෙන්නා එකට ම

එ අතර දොඩපු රහස්
අහන් ඉන්නැති
අඹ ලෑලි මේසය
හොර රහසෙ ම

අතැඟිලි පටැලි හැටි
බලන් ඉන්නැති
කළු ලෑලි පුවරුව
ඈතක ඉඳ ගෙන ම

නුඹ නාපු දවසක
අඹ ලෑලි මත මම
ලියමි දහසකුත් කවි
අපේ ආදරය ගැන ම

ආයෙමත් මම
තනිකමට හුරු වෙලා
සඳට දුර මනිමි
මතු දාක නුඹ දකින්න ම

එ දවස යළි
අපට හැකි වේ ද
උණුහුමට ළං වෙන්න
සඳවත සුපුරුදු ලෙස ම

වඩේ අක්කා

මීට අවුරුදු
කිහිපයකට කලියෙන්
නුගේගොඩ හන්දියේ
එල්ටීටීය තියපු
බෝම්බෙකට
ගිනිබත් වෙලා ගියේ
මගේ හදවත යි
උඹ ලැ ගේ අප්පච්චි
අළු ගොඩක් යට උන්නේ

ඒත් රත්තරනේ මං
ජීවිතේ අත්හැරියේ නෑ
උන්දැ නවත්වපු තැනින්
පටන් ගත්තා වඩේ කඩය
හන්දියේ තැබෑරුම ළඟ

මත් වතුර ඇඟ හළා ගෙන
දහසකුත් පිරිමි ගැවසුණ
උන් එක්ක හරි හරියට
ගැටුණා මිස
වුනේ නැහැ අවනත

වත්තේ පිරිමි එවුන්
ආවත් කොතෙක් ඉඳ හිට
හාද වෙන්නට අහ‍ ගෙන
ගෙට වැද්ද නො ගෙන
පන්නා ගෙන උන් ටික
අප්පච්චිගෙ මතකයට
ගුලි වුණා මිස
වුනේ නැහැ යහන් ගත

උඹට ‍නපුරක් නො වෙන්න
ගැහුවට බැන්නට
ආදරෙයි මහා සයුරක් වගේ
ඉවසපන් එහි ලුණු රස
කටුක යි දුවේ ජීවිතය
සොයාපන් පතුළෙ
හැකි නම් මිණි කැට

ඇත්ත
මං
පිරිමියෙක් වගේ
රළු වුණා

ඒත්
දුවේ උඹ
මලක් වගේ
සුපිපුණා

කහ පැහැය

දුරුතු මහෙ එක සැඳැවක් යට
හුදෙකලා දොළපාරක් අසබඩ
අපි ආදරය ගැන ඇන්ද සිතුවම
මතක ද නුඹට එහි පාට තව ම

ඈතට විහිදෙන විසල් කඳු වැටිය
එ මතින් නැඟ එන හිරු තැටිය
කහ පැහැය නො ව රත් පැහැය
විය යුතු බව පැවසුවෙ නුඹ ය

කාලෙකට පසු නුඹ ම සඳවත
ඉනික්බිති නැ‍ඟෙන හිරු වෙත
රත් පැහැය නො ව කහ පැහැය
අවැසි බව කීව ද දැන් ප්‍රමාදය

හීතලක්

ලේ පවා
ඝන වෙලා
යන තරම්
හීතලක් නුඹ
උරුම කළා
එ රැයේ මට

මෙවුලක්

ඉසිවර සිතක සමවැදි දැහැනක් සදිසි
ඉඳුවර නෙතක කළ රස අඳුනක් සුනිසි
හිමගිර පෙතක සුපිපුණු කුසුමක් විලසි
මල්වර ලියක දුටුවෙමි මෙවුලක් සැරසි

වරම

වරමක් ලද ව
විශ්වය ම
එක මිටකට ගත්ත ද
නුඹේ ප්‍රේමය නම්
එහි නො තිබිණ
සොඳුර

අමාවක කළුවර

අමාවක කළුවර වුව
රහසින් ම පෙම් කරයි
උදාවන්නට නියමිත
සඳට, එහි කාන්තියට

Wednesday, September 17, 2014

සංසාර කවිය

හන්තාන කඳු මුදුන
බලා හිඳී නිහඬ ව
නිල් පාට මහවැලිය
ගලා බසී රහසෙ ම

වස්සාන සිහිනෙක
කම්මුල ම රතු කර
තැබූ හාදු පෙළ
තවමත් සිහි කරමි

සංසාර කවියක
පන්හිඳ ම නතු කර
ලියූ පේලි තුළ
අරුතක් ගැන සිතමි

මධුසමයෙ මධුවිත

හිරුගේ දාහය ඉවස ගෙන
රාත්‍රිය පුරාවට සිහිලස ඉසියි සඳ

මතට තිත යැයි කියපු රටක
තබෑරුම් නම් ඕනෑ තරමින්
ගුණේ අයියගෙ මුළු ජීවිතෙ ම
මධුවිතට කලවම් වෙලා

රෑ දෙ ගොඩ වෙන තෙක්
මිතුරු කැළ පිරිවරා ගෙන
මධු සාදයන් ය බොහෝ දින
බෝතලයක් අහවර කරන්නට
ගුණේ අයියට ගජ මිතුරන්ට
උවමනා නැහැ පැය ගණන්

ඇරපන් බන් අනිත් මූඩියත්

පදමට ම වැදුණු පසු
ගුණේ අයියා ජෝති වන්නේ
නො නවතින ගී වැල
ඔහුගෙ මුවගට පාත් වන්නේ

සද්දෙ ටිකක් අඩු කළා නම්
පුංචි කෙළී පාඩම් කරනවා ගුණේ

විමල අක්කා මාළු පිළි ගෙන
අඩවන් නෙතින් උන් පිරිමි මැද්දට ගෑටුවා
ඇසක් ඉඟි මරා ගුණේ අයියා
සිහින් ලෙස කම්මුලක් ඇගෙ මිරිකුවා

මල කෝලං

රවා ඈ හෙළා නො රිසුම් බැලුම්
හනික ගේ ඇතුළට රිංග ගත්තා

සාදය අවසන කවුරුත් ම ගිය පසු
ගුණේ අයියා ගෙට ගොඩ වෙලා
අගුළු ලා දොර පියන් ජනෙල්
විමලා ඇද ගෙන යහනට වැදී
ඇගේ සළු ලිහා නිරුවත මත
තැනින් තැන හාදු තිබ්බා
උණුසුම් ම තැන් කෙළවලින් තෙමුවා

ගැහැනියක සනසන්න
ගුණේ නම් උඹ සැබෑ හපනෙකි

විමල අක්කට කියවුනේ ‍ඉබේට ම ය

ඒත් රත්තරනේ ඉවස ගන්න බැරි උඹෙ
අරක්කු ගඳ ය එහි අපුල බව ය

හිරුගේ දාහය ඉවස ගෙන
රාත්‍රිය පුරාවට සිහිලස ඉසියි සඳ

නිහැඬියාව

දහසක් දේ
පැවසුවත්
රාත්‍රිය පුරාවට
අහස නුඹ
දිගු
නිහැඬියාවක ය

තටු සිඳී

හීන මවන හැන්දෑවක
තටු සිඳගත් කිරිල්ලියක
සොයා ඇදෙමි ආදරයක
පාට තැවරි අනන්තයක

වස්සාන සිහිලස

ගිම්හාන ඍතුවට
ඇහැරෙන්න ඉඩදීලා
සොඳුරිය
අපි විඳගමු
වස්සාන සිහිලස
මේ අඩ අඳුරේ

සඳ කිනිත්ත

සඳ කිනිත්තක වුව
තියෙන්නේ
නුඹේ සිහිල් බව
සොඳුරිය

සෙවනැල්ල

මෙතෙක් කල්
නුඹ
මා සමඟ
වැටී උන්නා
මඟ නො හැර
කිසි දින
ඉතින් සුමිතුර
සමුගන්න අවැසි ය
විඩාපත් කය
අතහැර
ආයෙමත්
අප
හමු නො විය
යුතු බව
පසසමින්

පැතුම

අප්පච්චි
නුඹ
සිදුහත් වන දා
රාහුල වෙන්න
පතමි මම

නියඟය

දෑස් මිරිකා
ලේ කඳුළකට හරවා
හෙළමි
මහ පොළොවට
තෙතමනය
උරා ගෙන
ඉරිතැලුණු
පස් කැටි හාවෙන්න

බිඳුණ රළ

මුහුද යාබද
ගල් තලාවක
ආදරෙන්
අප උන්නු
කාලෙක
වෙරළ සිඹ සිඹ
බිඳුණ රළ ගැන
මොහොතකට
අපි
මෙනෙහි කරමු ද

අකුරක්

වැඩි කලක්
නො ගොස්
දුයිශෙන්
මිත්‍රය
නුඹ මියෙනු ඇත
එ දවස සිට
අකුරක්
රුපියලක්
වනු ඇත

සත්මහල් ප්‍රාසාදය

ආදරේ
සත්මහල් ප්‍රාසාදයෙන්
බැස
නුඹ එන තෙක්
පළමු මහලට වී
මම බලා ඉමි

වියපත් සඳ

නො ඉඳුල්
නමුත්
වියපත් වූ
සඳකි නුඹ

දමිළ කළලය

දුවේ මං
අවුරුදු දහ තුනක් වෙද්දි
උඹ ගැබ්බර කළේ
බලෙන් ම ය

නෑඹුල් මලක් වුණ
රත්තරනේ උඹ
පිරිමි ගැහැනු ගැන
උන්ගෙ ආදරය ගැන
මොනව ද දැනන් උන්නෙ

ඒත් ආයුධ අරන්
උන් ඇවිත් ගේ පීර පීරා
උඹ ව හොයන කොට
මං පෙන්නුවේ
උඹෙ ගැබ් ගත් බඩය
එහි නිදන
කිසිත් නො දත්
දමිළ කළලය ය

සස්වාමික සඳ

සස්වාමික සඳ
හොර රහසේ ම අපි
ආදරය කරමු ද
අහස් තලයෙන් බැස

Wednesday, September 10, 2014

නෙළුම් දණ්ඩක්

බොර දිය
පාදමින්
සෙව්වෙමි
මම
නෙළුම් දණ්ඩක්

පූදනු වස්
නෙළුම් මලක්

අවදි ව

සඳ පවා
නිදනා රැයක
තරු පවා
හැළෙනා රැයක
අවදි ව
හිඳින්නෙමි මම
සිහිනෙන්
දකින්නට නුඹ

දැඟලිල්ල

ඇගේ
හංස ජෝඩුව
ඉගිල්ලෙන
දඟලන තරම්

ඉතින්
මෑතකට වී
මම
ගොඩලමි
තිත්තයින්

මල් පෙත්ත

රළු මල් පෙත්තකි
නුඹේ තොල්පත
මධුවිතින් මත් වුණ
දෙ තොලින් ම
එය තද කොට
සිහි තොර කර ගතිමි
මම

තනිකම

දවසක් ඒවි
මමත් සඳකට
අඩිය තියන
එ දවස
නුඹ නෑවිත් ඉන්න
අහසට

අඩ සඳ

අඬ සඳකට වුව
හැකි ය
කළුවර
නිවන්නට
අනන්ත වූ
අහසක

Friday, September 5, 2014

කුමුදු මල

ගන අඳුරෙන්
තැවෙන
සඳ එළියෙන්
දැවෙන
කුමුදු මලක්
ඇය

එක නිශා යාමයක
මුහුදුබත් වූ ඔරු කඳක
ඇගේ ජීවිතය
ගසා ගෙන ගියා
සයුර පතුළට
ඇගේ මව්පියන්
අද එහි
නිදනු ඇත
මැණික් කැට දෙකක් ව

එ දවස
පටන්

දුක් උහුළන්නී
හඬා වැටෙන්නී
කෝරලේ ගෙදර
නැන්දා ළඟ
බැල මෙහෙවර කරන්නී

ගන අඳුරෙන්
තැවෙන
සඳ එළියෙන්
දැවෙන
කුමුදු මලක්
ඇය

වසත් කල සඳ

ඝන වලාවන් පෙළට
මැදි වී
නුඹ
සිනා සෙන අපූරුව
වසත් කල
සඳ

චෛතසික

නවාතැනක්
නැති ද වෙන
මගේ හිත
විතර ම ද
මුණ ගැහුනේ
නුඹ හට
අහුර ගෙන
හැම මුල්ලක ම
දැවටෙනා හැටි
චෛතසික

නො තිත් පබැඳුම

ලියන්නට
තව කවි
දහසකුත්
මේ හිතට
ඇති
ජීවිතය දැන්
දශක දෙකකට
බර යි

අක්කා

මහකණදරා වැව
නුඹ වාගේ මැ යි
ඈතින් පෙනෙන
මිහින්තල උතුම් ගිරි හිස
සිඹින මදනල කැටි වූ
විසල් දියවර පුරෝ ගෙන
දහසක් කෙත් වතු
අස් වැද්දුවා

පුංචි ගල් කැටයක්
වැටුණත් කැළඹෙන
වැව් පතුලේ ගැඹුරෙහි
සියවසක නටඹුන් රකින
සුදු නෙළුම් පවා
සුපිපෙුනේ
එ නිල් දියවර මත ය

ඉතින් අවසර
පැන් දෝතක් ගෙන
අත් පා දොවා
වැව කපා
ගොඩ ගත්ත
පස් ගොඩෙන්
බැඳ ගත්ත
දාගැබ
වැඳගන්න

Thursday, September 4, 2014

හරි කෙනෙක්

උඹත්
හරි කෙනෙක්
සඳ
පාළු යි
කියා දැන දැන ම
එළිය
කරන හැටි
මගේ ලොව ම

පොරෝනය

මොහොතකට
එන්න
මේ පොරෝනය
ඇතුළට
ගුලිවෙන්න
මාත් එක්ක

විඳගන්න එහි උණුසුම
බිඳලන්න ඔය තනිකම

මතක පොත

ඉස්සර
‍‍බොහො ම
උණුසුම් ව තිබුණ
මතක පොත
අද
හොඳට ම
හීතල වෙලා

හිම වැස්සක්

හිම වැස්සක්
කඩා හැලේ
ආදරය ලෙස
සෙම්ප්‍රතිශ්‍යාව
දරා ගත
නො හැකි
රැයක

සියුමැලි අතැඟිලි

අම්මා ඇවිත් නළලට අත තියල
ආදරෙන් අහනව උණ ද කියල
ඔව් හොඳට ම කකියනවා ඔළුව
ඉවස ගන්න බැහැ අම්මේ මට
සියුමැලි අතැඟිලි පහ එ ඇසිල්ලට
හීන් සැරේ නළලත පිරිමදිනවා
ඇදුම් දෙමින් පුපුරන්න හදපු ඔළුව
මොහොතකට සුවපත් වෙනවා

බලය බෙදීම

ශිරා
ධමනි
නො වන්නට
හැකි වේ ද
හෘදයට
ගෙන යන්න
ඇඟ පුරා
රුධිරය

මල් පැළය

අහෝ මෙහෙව් රටක්
නැත එහි මිනිස් පුළුටක්
පෙර දවස මුතු ඇටයක්
අනේ අද කඳුළු කැටයක්

එක ම අම්මෙක්

පයෝධර යුග
ගලවා ගෙන යති
එකෙක්
කිරි දොවන්නට බැහැ
ඉතින්
තවකෙක්
උගුලා ගෙන යති
ඇගේ ලිංගය
දරුවන් වදන්නට බැහැ
තවත්
හදවත පළා
දකුණු පස එකෙක්ට
වම් පස තවකෙක්ට
යුද වැදී
බෙදා වෙන් කර ගත්
පසු ව
මිහිදන් කළ හැකි ය
අම්මගෙ මළකඳ

ඉතිකින්

එන්නත් කළ යුතු ය
මිනිසත් කමේ රුධිරය
සුන්නත් කළ යුතු ය
නො මිනිස් කමේ පිළිලය
රෝපණය කළ යුතු ය
ආදරයේ මල් පැළය

ප්‍රකාශන අයිතිය

ඔයාගේ නමට
ආදරයෙන් ලියපු
කවි එකතුව
පොතක් ලෙස
මුද්‍රණය කළෙමි
ප්‍රකාශන අයිතිය
වෙන අයකුට
පවරා දී

නිවෙන තැන

මතක මාවත දිගේ ආයෙමත් ඇවිද යමි කෙසේ
සොඳුරු ආදර සුවේ හීනයෙන් ඇහිද ගමි මෙසේ
අඳුරු ජීවන තොටේ පාළුවෙන් පෙළන හැම දිනේ
සසර සාගර ඉමේ ඈතකින් නිවෙන තැන පෙනේ

අබිසර

කළුවර කපා ගෙන සඳ රැස් දහරක් කඩා හැළෙන යාමයේ
මනහර සිනා දෙන මුව ඇස් යුවළක් නුරා සලන සීතලේ
පිනිබර වරා මල තුරු හිස් මුදුනක් ලිහා යනෙන මාවතේ
අබිසර බදා ගෙන පෙම වස් කවියක් කළා නැවෙන ජීවිතේ

ගමන

ජීවන ගඟ
කෙම කෙමෙන්
ගලා බසී

ඉතින්
මොකට ද
ඉක්මන් ගමනක්
සයුර
වෙරළෙ දී
මුණ ගැසෙන බව
දනී නම්

Sunday, August 31, 2014

කඳුළ

ඇහි දාර දිගේ හීතලට
නුඹ ගලා බසී හෙමිහිට
හුස්මක් හෙළමි අහසට
සිනහව උරුම නැහැ මට

ඇහැ දැන් හුරු යි අඳුරට
සැනෙකින් පියෙයි එළියට
ඇය නොමැති රැයකට
සඳ ඕනේ නැහැ මට

හිටි ගමන් ඇවිත් මතකෙට
සිහිලස සලයි දෙනෙතට
නුඔ ඉන්න තෙක් තනියට
මතක නැහැ හිනා වෙන්නට

ගමන

ජීවන ගඟ
කෙම කෙමෙන්
ගලා බසී

ඉතින්
මොකට ද
ඉක්මන් ගමනක්
සයුර
වෙරළෙ දී
මුණ ගැසෙන බව
දනී නම්

මිනිසා

දෙවියන්
ලෝකය ද
මිනිසා ද
මැව්වේ ය

මිනිසා
ලෝකය ද
දෙවියන් ද
මැරුවේ ය

මචන්

මචන්
දැන්
දෙමළ
වචනයක්
නෙවෙයි
බන්

සුළඟ

සුළඟ වගේ ඇවිදින්
හිත කිති කවා හෙමින්
ආයේ යන්න ද ඉතින්
දුරස් වන්නේ ළඟින්

පෙම්බර හිත අරන්
හැම රැයක ම හොරෙන්
එන්නෙමි සිහිනයෙන්
නින්ද ම කැප කරන්

සුන්දර නුඹ ළඟින්
ඉන්නෙමි හිත තියන්
දුක්බර කවි පොතෙන්
පිටුවක් පෙරළමින්

Wednesday, August 27, 2014

හැඩ

පැල්පතට
සඳ පෙනෙන
තරමට
සඳලු තලයට
නැති ලු
හැඩ

මේ රැය

මා පෙම් කරන
සඳවත
නුඹත් එක්ක
මේ රැය
පහන් කරනවා
නො වෙ ද
හිතවත

අහස

මම
පෙම් කරමි
අහසට
සඳ
තියෙන තාක්
එ තැන ම

Monday, August 25, 2014

මාළු අක්කා

ඉරිදා පොළේ
මාළු ලෑල්ලේ
ගුණවතී
ආදරේට
කවුරුත් ඈට
කිව්වේ
මාළු අක්කා

වෙළඳාම
හින්ද ම
ගොරහැඩි වෙච්ච
කටහඬ යි
උන්දැගෙ
බුලත් කහට බැඳිච්ච
දත් පෙළ යි
ඉරිදා පොළට
යන එන
උදවියට
බොහො ම පුරුදු යි

දවස
තිස්සෙ ම
සාලයො
කෙලවල්ලො
කුන්ඩලාවො
එක්ක
පිලී ගඳ ගහන
මාළු අක්කගේ
ජීවිතයට
සුවඳ අරන්
ලොකු කෙලී
ශිෂ්‍යත්වෙන්
ඉහළ ම
ප්‍රතිඵල ගත්තා

ඒකි ව
සිදාදියේ
ඉස්කෝ‍ලෙකට
දාගන්ඩ ඕනැ
‍පොළට ගොඩ වන
කාත් එක්කත්
උන්දැට
තිබ්බෙ එක ම
කාරණාවක්

ඒකි
දවසක
‍මේ කරදිය වැල්ලෙන්
එතෙර කරයි බං
අපි ව

ශාපය

මම දවසක කවියක් ලියාවි
අපේ ඉපැරණි මතයකන් හෙළි කොට
එ කවිය රසවිඳින අය
ප්‍රේමයට ශාප නො කරනු ඇත

අමාවක දා

පුරහඳක කාන්තියට
හුරු වෙලා තිබු නෙත
අමාවක අන්ධකාරයට
මැදි කළා නො වැ නුඹ

Tuesday, August 19, 2014

ආදර දෙවොන්දොරා

හ්ම්...
මටත් දැනෙනවා
මළවුන් අතරේ වුණත්
අපි තව ම හුස්ම ගන්නවා

ඒත්
වසන්තය අරන්
නුඹ ආවේ නැහැ තවත්
කමක් නැහැ
මං බලං ඉන්නං හෙටත්

හැම සීත කාලෙක ම
සකුරා මල් පිපෙනවා
හැම තැන
ඒත් එක්ක ම
ටික දොහකින්
පරවෙලා යනවා
සුවඳ පමණක් ශේෂ කර

මතක ද නුඹ
එක ම එක දවසක්
මගේ අතින් බදා ගත්තා
එ වෙලාවෙ ඝන වුණ
ලේ කැටියක් තවමත්
පපුවේ එක කොනක
ඇදුම් දෙමින් තියෙනවා

මේ...
ඇහෙනව ද
දෙවොන්දොරා
නුඹට නො දැනෙන්න
මළවුනුත් හුස්ම ගන්නවා

Saturday, August 16, 2014

ආදර නොරිකො

පුරුද්දට වගේ
තවමත් මම
මිදොරියට ගොඩ වෙනවා
බාග වෙලාවට
සකෙ උගුරක් දෙකක්
එක හුස්මට
බී ගෙන යනවා
එ වෙලාවට
නහර දිගේ
ගලා ගෙන යන්නේ
අමුතු සුවඳක්

හේමන්ත ඍතුව
නික්මෙන්න හැර
අපි ඇවිද ගියා
මතක ද අසකුසා වීදිවල
කළු වලාකුළුවලට යටින්
නියෝන් එළි
දැල්වෙමින් තිබුණා
එ හැම දවසක ම

අපි කොයි තරම්
සමීප ව උන්න ද
ඒත් අපි අතර තිබ්බ
සංවර කම
තොල්පතක උණුහුම
මනසින් වත්
නො විඳි වග
අපට සහතික යි
එ හැම රාත්‍රියක ම

සීත කාලෙක
එළියට ඇවිත්
සකුරා මල් පිපෙන හැටි
දැක ගන්න
කොයි තරම්
පෙරුම් පිරුව ද අපි

ඒත්...

අපි දුරස් වෙන්න
දුරස් වෙන්න
තව තවත්
සමීප වුණා
නො වෙ ද
නොරිකො

මේ...
නුඹට දැනෙනව ද
මළගිය ඇත්තන් අතරේ
අපි තවම හුස්ම ගන්නවා
ඉතින් වසන්තය වුණත්
ආයෙමත් ඒවි

නිහඬ දෙ තොල

මා
වඩාත් ප්‍රිය කරන්නේ
ඔබේ
තොර තෝංචියක් නැති
කථාබහට
නො ව

ගැඹුරු බවින් යුත්
නිහඬ
දෙ තොල් යුවළට ය

Thursday, August 14, 2014

සමනලිය

සරසවි සමනල අඩවියේ
සිරිපා පතුළ වඳිනා වෙලේ
සමනල සමනලියන් අතරේ
එ සමනලිය සොයමි රහසේ

පර්යාලෝකය

දුර ඈතක නමුත්
රේල් පීලි වාගේ ම
ළං වෙලා ඉමු
අපි හෙටත්

දෙ තොල

දහසක් දෙ තොල් සිඹිමින්
සොයා ආවේ
නුඹේ දෙ තොල යි

නිකබය

කළු ලෝගු හැඳගත්
යුවතියන් රෑනේ
නිකබය අතරින්
එබිකම් කළ
එ දෑස
තවමත් සොයමි

Tuesday, August 12, 2014

හීන

හීන මට
පාර කියනවා
නුඹ ළඟට එන්නට
රාත්‍රියට විතරක්

ඡායාව

අහසේ ඡායාව
විල් තෙරට වැටී

සඳ විල් තෙරේ කිමිදෙනවා
තරු නන් රටා අතුරනවා

මේ රාත්‍රියේ
නිහඬ බව
ආදරේ ගීතිකා මුමුණනවා

අවතැන් වූ සිත

කප්පරක් හීන අරගෙන
ඔයා ඇවිදින් මා වෙත
රත්තරන් පාට අහසක
කළා අවතැන් මා සිත

මිරිඟුව

මිරිඟුවක් වුව
සහනයකි
නො සි‍ඳෙන පිපාසයකට

ගැලරියට

මා කවි ලියන්නේ
ඇයට මිස
ඔබට නො ව

යාල් දේවිය

යාල් දේවි දුම්රියේ
ඉදිරිපස අසුනකට වී
මම බලා සිටියෙමි
ඇය එන තෙක්

සාවිත්‍රි

මට මුණගැහුණේ
මීට කාලයකට ඉස්සර
උප්පැන්න රෙජිස්ටාර් කන්තෝරුවේ දී
කැඩි කැඩි වුණත්
හොඳින් සිංහල බස උසුරවපු
ඇගේ ලාලිත්‍යය
මගේ සිත ගත්තා

එ අපි දෙන්නගෙ
මුල් ම හමුවීම

දරුවගේ උප්පැන්නෙ වැඩවලට
රජයේ කන්තෝරුවට
ගාටන්න වුණත්
එ තෙහෙට්ටුව
සාවිත්‍රි‍ගේ ඇස් ඇතුළෙ
මං දිය කර හැරියා

දවස් කිහිපයක් තිස්සේ
මතු වෙමින් තිබුණ
ආද‍ර උල්පතේ සීතල
එක දවසක්
හදවතේ බිත්ති ඇතුළට
කාන්දු වෙමින්
සිරුරෙ ම උණුහුම නිව්වා

‍එ වෙද්දි
කොටුව ස්ටේෂම
පහු කර ගෙන
යාල් දේවිය
ඉදිරියට ඇදී තිබුණා

Sunday, July 13, 2014

සකුණ විජිතය

පියාපත් සලා ඈතට යමු සරා
විඩාපත් මෙමා අතහැර යනු එපා

ජීවන මගේ හමු වෙන බාධක මැදින්
මීදුම දිගේ හමු වෙයි ආදර වදන්
සීතල රැයේ කඳු හෙල් තරණය කරන්
ඈතට යමු නො මිනිස් විජිතයෙන්

පියාපත් සලා ඈතට යමු සරා
විඩාපත් මෙමා අතහැර යනු එපා

සිනහා පිරි සුන්දර කෙම් බිම සොයා
මියෙනා තුරු පෙම්බර සිහිනය පතා
පටලා යමු අත්වැල් නො හැර සදා
පියඹා යමු සකුණ විජිතය කරා

පියාපත් සලා ඈතට යමු සරා
විඩාපත් මෙමා අතහැර යනු එපා

ආයෙදින් ඇවිදින්

නුඹ ඇවිත් කාලෙකින්
සිත පුරා ඇවිදමින්
දඟ කරයි ආයෙදින්
කවි පොත පෙරළමින්
හිස් පද පුරවමින්
මම හිඳිමි පබඳිමින්

Saturday, June 7, 2014

ඉටිපන්දම

ඉටිපන්දමක් ගෙන
නුඹ ඇවිත් කුටිය වෙත
නිර්වස්ත්‍ර රූපය
සෙවනැල්ලෙ ඇඳ තිබුණා
දැල්වෙලා තිබු ගිනි දැල්ල
හැමතැන ම මං හෙව්වා
උණු වුණ ඉටි කන්ද
දෙතොලින් ම සිම්ඹා
තාපසයෙක් වගෙ උන්න
නෙත තොල මගේ සිත
මොන තරම් සරාගී ද
එ රැයේ මට සිතුණා

වරා මල

බඹරුන් සොයා
පාවෙන
වරා මලකි
නුඹ

Friday, June 6, 2014

සරා සඳ

සරා සඳ අද
නෑවිදින් අහසට
නුරා නෙතු යුග
අවදියෙන් හිටියට

පෙරා සඳ දිය
උණුහුමින් සුසුමට
ගෙවී ගිය යුග
නංවමින් සිහියට

දරා ගෙන දුක
තනිකමින් හෙමිහිට
පියා ගමි නෙතු
ඉඩදෙමින් කඳුළට

කුහුඹුවා

මධු බඳුනකට
ඇද වැටුණ
කුහුඹවකු ලෙස
මියැදෙමි එහි ම

කවි සිත

නො පෙනෙනා තැනක හිඳ
හොර රහසේ ම
කියවනවා ද නුඹ
මගේ කවි සිත

සමානයා

අප දෙදෙන
දෙ විධියකි
එහෙත් අප මව්
එක ගැහැනියකි

හංසිය

මා
ප්‍රේමයේ
විල් තෙරට
බසින විට
හංසිය
ඇවිදින්
ගොඩට

ගුරු ගීතය

අල්තිනායි
මං නුඹ එනකං බලං උන්නා
ඇස් රිදෙනකං
නුඹ එන්නෙ නැහැ නේ ද

නැහැ
උඹ ඒවි
ආයෙ මේ අයිලයට
මාව සොයා ගෙන

එපා
අල්තිනායි
නුඹ එන්න එපා
මා සොයා ගෙන
එ දුර
ආයෙ නුඹට
එන්න බැහැ

Friday, May 30, 2014

මගියකු

මම
ගැඹුරු කල්පනාවකට
වැටී සිටියෙමි
බස්රියේ කවුළුවෙන් එපිට
දෑස තියා ගෙන
එක්වන ම
ගොරහැඬි කටහඬක්
සවන්පත් මත වැටිණ
දෑස කවුළුවෙන්
මෙපිටට ගෙන

ඔහු ගයයි
ඔහුගේ ජීවන ගීතය
ළයේ ගැස්ම
බෙර හම මත
පතිත කොට
ඔහු සිටියි
ඔහුගේ ජීවන අසුනෙ
බස්රියේ
එන්ජිමට බර වී
ඔහු නිමා කරයි
ඔහුගේ ජීවන ගීතය
කාසි කොළවල
හඬට කන් දී

මම නැවතත්
බස්රියෙන් එපිටට
දෑස විසි කළෙමි

සන්තාපය

සන්තාපයක් කොහෙද
මේ ජීවිතේ
සන්තෝසයක් විනා

එක වරක්

ජීවිතේ තව එක වරක්
නුඹ ආපසු ආවොතින්
ඉවත යන්නට නො දී
තුරුළු කර ගන්නම් ආදරෙන්

සඳලු තලය

සඳට තවත්
සමීප වෙතැයි සිතා
සඳලු තලයට
නැඟ ගත් නමුත්
සඳට තවත්
දුර බෝ මැ යි

Thursday, April 24, 2014

සිනමාහල

අකුණක් ගැසුවා
සිනමාහලට ඉහළ
අහස වෙත
බියෙන් තැති ගත් යුවළ
උනුන් තර ව වැළඳගත්තා
මල් වැස්සක්
හීනියට ඇද හැලුණා
සීතල ද කැටිකොට

කෙටි පණිවිඩයක්

ඉඳහිට
ලැබෙන
කෙටි
පණිවිඩයක්
ඇගේ
ආදරය

තුරුළ

තුරු වදුල
මට හිමි නැත
එහෙත් එහි පිපෙන
මල්පොදි විඳගමි

නිල් අහස
මට හිමි නැත
එහෙත් එහි දිලෙන
තරුරැස විඳගමි

නුඹේ තුරුළ
මට හිමි නැත
එහෙත් එහි නිදන
සිහිනය විඳගමි

යශෝධරා

යශෝධරා
මා සදාදර
ප්‍රියම්බිකා
කන්ථක ළය පැළී මියැදුණේ
තිරශ්චීන ව උපන් බැව්නි
එහෙත් පියබඳ නුඹ
ජීවිතාබෝධය ලද ඇත තරමක
සත්තය
සමුගන්න පෙර මොහොතකට
පවසන්න තිබුණා නුඹ හට
එහෙත් එ දවස
අහුරන්න ඉඩ තිබිණ
මා යන කටුක මඟ
ගැහැනියකගේ කඳුළ අබියස
මොළොක් වනු ඇත
පිරිමි සිත
ඉදින්
තිර කරගතිමි හදවත
අතහැර ගියෙමි ගිහිගෙය
රැගෙන ආවෙමි ඔසුපැන
බවදුක නිවමි සතවග
නුඹත් මා කැටුව
සත්‍ය සොයා ආවෙමු
මෙතෙක් කල
ඉතින් අප දුටු හීනය
සැබෑ වී ඇත
පෙරුම් පිරු ලෙස
ප්‍රේමය නම් මෙයැ යි
එහි උතුම් බව
යශෝධරා නුඹ
කියා දුන්නා නො වැ

Sunday, April 20, 2014

විසල් ගසක්

කලකට ඉහත
විසල් ගසක් ව
නුඹ
හිඳින්නට ඇත

සුවඳැති
මල් පිරිවරා
රස ඇති
ඵලවැල දරා

නෙතට
හරිත පැහැ
අඳුනක් ව
ලොවට
සෙවන දෙන
නිවසක් ව

අතු ඉති
බිඳී ගොස්
කොළ පත්
හැළී ගොස්
අක් මුල්
සිඳී ගොස් ය
අද

කලකට ඉහත
විසල් ගසක් ව
නුඹ
හිඳින්නට ඇත

අ සමාන

එකෙක්
මාළිගයේ
වහලය
පිළිසකර කරද්දි
තවකෙක්
කටුමැටි බිත්ති මත
පොල්අතු
සෙවිලි කරයි

වලව්ව

ඉස්කෝලේ
විභාගයෙන්
පාස් වෙච්ච දවසේ
වලව්වේ
හාමු මහත්තයා
අහම්බයෙන් වගේ
අපේ ගෙට ගොඩවුණේ

හාමු මහත්තයට කියන්න
අපේ කෙළී
විභාගයෙන් පාස් වෙලා නො වැ

අපූරු යි නො වැ
යවහං ඒකි ව
නගරේ ඉස්කෝලෙට
ඒකී පින්වන්ත යි බං

කොයින් ද හාමු
අපට කාසි

ඒකට කාරි නැහැ
කෙළීට
මං උදව් කොරන්නම්
ඒකි දක්ෂ යි බං

අනේ
හාමු මහත්තයට
බුදු බව අත් වෙනවා

ටික දොහකට පස්සෙ
වලව්වේ
හාමු මහත්තයා
පණිවිඩයක්
එවලා තිබ්බා
අම්මා අතේ
වලව්වට ඇවිත් යන්ට
කියලා
නගරේ ඉස්කෝලෙට
යන එක ගැන
කථා කොරන්ට

මාත් හනිකට
අම්මාත් කැටුව
වලව්වට ගෑටුවේ
නගරේ ඉස්කෝලෙට
යන්ට තිබ්බ
පෙරැත්ත හින්දා

සිරිවතී
උඹ පලයන්
ගෙදර වැඩපළත් ඇති නේ
කෙළීත් එක්ක
මං කථා කොර ගන්නම්
නගරේ ඉස්කෝලෙ ගැන
ඒකි දැන උගත් බං

එහෙම යි හාමු

.
.
.

වලව්වට ගිහින් ආපු
දවසෙ ඉදන්
උඹ හරි අමුතු යි බං

හයිකු කවියක්

වචන කිහිපයක්
ගැඹුරු අර්ථයක්
හයිකු කවියක්
ආදරේ

Saturday, April 12, 2014

එක රාත්‍රියක්

එක ම
එක රාත්‍රියකට
පමණක්
ඉසිඹුලන්නට
මම නුඹ වෙතට
ආවෙමි

නුරාවෙන්
මාත්තු කොට
දෙතොලත තවළ
රමණයේ මකරන්ද
මා මත් කළ තරම්

එක ම
එක රාත්‍රියකට
පමණක්

නිදිවරන දෑස

විඳවනා
හැඟුමන්
ගිලිහෙනා
කඳුළැල්

නිදිවරන දෑසෙන් උහුලමි
කවි ලියන දෑතෙන් පිසලමි

Friday, April 11, 2014

හිමිකම

වන්නි වන පෙතේ
විහඟ සුමිතුරේ
තල් අතු පතර හිඳන්
ගයන ගීතයේ
අරුත කුමක් දෝ

වන්නි වන පෙතට
හිමිකම නුඹට ඕනි ද
තුංග ගිරි කුළට
සමවන පැතුම ඒක ද
නැතිනම් එක ම කොදෙව්වක
සාමයේ ගීය ගයමු දෝ

නින්ද නැති රැයට
බිහිසුණු සිහින ගෙනෙමු ද
යුද්ද වැද බිමට
රත්වුණු රුහිරු හළමු ද
නැතිනම් එක ම කොදෙව්වක
සාමයේ ගීය ගයමු දෝ

Friday, April 4, 2014

ස්වප්නය

ඈ ව
එ රාත්‍රියෙ
මට මුණගැසුණා

හාදු වැස්සක්
රාග සිහිලක්
සුන්දර
ස්වප්නයක් ලෙස

පාන්දර
අරුණෝදයේ
මට හැඟුණා

පිනි බිඳුවක්
උණු කඳුළක්
ජීවිතය
මායාවක් බව

Wednesday, April 2, 2014

බේරේ වැව

එ දවස නුඹට මතක ද
බේරේ වැව පිස හමන සිසිලස
ඉඳ හිට ඇහෙන
කාක් රෑන්වල කිචි බිචිය
එක එක සෙවනැලි ඇන්ද
කොට්ටං  තුරු සෙවන
ග්‍රීෂ්මෙන් මිදෙන්න
වැව් පතුළෙ කිමිදෙන දියකාවුන්
ඈතට  හරි අපූරුවට පෙනෙන
වැව් මැද්දෙ සීමා මාලකේ
සිමෙන්ති බංකුවක් උඩ
අත්වැල් පටල ගත්ත
පෙම් යුවළ
එ දවස නුඹට මතක ද

Tuesday, April 1, 2014

අන්ධකාරය

මා
වඩාත් බිය
අන්ධකාරයට
නො ව
කණාමැදිරි
එළියට ය

Monday, March 31, 2014

පිළිගැනීම

ජීවිතය මෙය යැයි
නුඹ කියා දුන් විට
ඔව්
ජීවිතය එය යැයි
මම පිළිගතිමි

ආදරය මෙය යැයි
නුඹ කියා දුන් විට
ඔව්
ආදරය එය යැයි
මම පිළිගතිමි

වෙන්වීම මෙය යැයි
නුඹ කියා දුන් විට
ඔව්
වෙන්වීම එය යැයි
මම පිළිගතිමි

Thursday, March 27, 2014

සිතුවිල්ලක්

නෙතු පියන්
වසා ගත්
පසු ව ද
සිතට නැඟෙන
එක සිතුවිල්ලක් ඇත


ඔබ ම මිස
වෙනකෙක් නම්
නො ව

Tuesday, March 25, 2014

සොයා ගැනීම

කිමිදුම්කරුවකු
සිඳු පතුළ පීරා
මුතු කැටයක්
සොයා ගත් පරිද්දෙන්
නුඹ
සොයා ගතිමි
එහෙත්
ඒ වන විටත්
එහි
දිස්නය
මැකී ගොස් ය

පිපාසිතයකු
දුරු කතර ගෙවා
විල් තෙරක්
සොයා ගත් පරිද්දෙන්
නුඹ
සොයා ගතිමි
එහෙත්
ඒ වන විටත්
එහි
දිය පොද
සිඳී ගොස් ය

Monday, March 24, 2014

කළණ මිතුරා

කුසට අහරක් නැති ව මහ මඟ
යදින මිනිසකු දුටු කලට
නෙතට කඳුළක් නැඟුණ හිතවත
කළණ මිතුරෙකි නුඹ ලොවට

රුපියලත් වටින මෙ දවස
දුන්නා සියයක් ඔහු අතට
සිහින් ලෙස හිසත් පිරි මැද
විමසුවා කොහොම දැ යි සැපදුක

දහසකුත් මිනිසුන් යන එන
එහෙත් කිසිවකු නො හඳුනන
තවත් අය කොතෙක් ඇති ද
පීඩිත ව කුසගින්නේ මියැදෙන

Sunday, March 23, 2014

රූපය

ගැඹුරු නින්දකට වැටුණෙමි
ඇහි පිය අතරට
සිර කර ගෙන
නූඹේ රූපය

මොහොතකට පසු දුටුවෙමි
කඳුළු බිඳුවකට
බොඳ ව තිබුණ
නුඹේ රූපය

ඡන්දය

අප්‍රියාවෙන්
නමුත්
මළපහ
කළ යුතු ව
ඇත

ලෙයින් ලියා

ලෙයින් ලියා මා ඔබෙන් කළ ඇරයුම්
සිතින් සදා කල් ඔබට පුදමි පෙම් මල්

බිඳුණු මගෙ හිත ඇතුළෙ
ඔබ ගැන නැහැ තරහක්
සතුට නුඹෙ වෙනකෙකු නම්
පිළිගනු සුභ පැතුමන්

හැඳිනි දිනෙ හිත ඇතුළෙ
ලියැවිණි කවි දහසක්
කඳුළ ගෙනේ යැයි සිතුවා නම්
රිදවුම් නොමැත ඉතින්

Wednesday, March 19, 2014

පහන් දැල්ල

නුඹ
ප්‍රේමයේ
පහන් දැල්ල
මම
ඉන් දැවෙන
පහන් තිරය

Monday, March 17, 2014

අයිතිය

නුඹ
වෙනකෙකුට
අයිති බව
දැන දැනත්
රහසෙ ම
පෙම් කරමි
මම
තව තවත්

Thursday, February 27, 2014

අමතක වීම

පාළුව දැනෙන වෙලාවට
සිහි කර ගන්නට
කවියක් මං කීවා
මතක ද කාලෙකට ඉහත

සීතල දැනෙන වෙලාවට
උණුහුම් වෙන්නට
කබායක් මං දුන්නා
මතක ද කාලෙකට ඉහත

ආදරය සොයා ආවට
හදවතත් එක්ක ම
ජීවිතය මං දුන්නා
මතකෙට නාවට නුඹට

Saturday, February 15, 2014

තනිකඩයා

යාන්තමට
දැළි රැවුල වැවී ගෙන එද්දි
ගෙදර කිට්ටුව
ටිංකරිං වැඩපලේ
අත් උදව්වට ගිය
කොලුගැටයා සිරිපාල

උදේ කණිසමට
පොත් මිටියකුත් අරන්
කලිසම් කො‍ටෙයි
සුදු බැනියම යි ඇඳන්
හිතින් ඉස්කෝලෙට ගාටපු
කොලුගැටයා සිරිපාල

ළමයින්ගේ තාත්තා
මියැදිච්ච දවසෙ ඉඳන්
එදා වේල සරි කරන්න
දුක්ගැහැට විඳින
අම්මගෙ දෑතට දිරි දුන්න
වැඩිමලා සිරිපාල

ලොකු මල්ලි
ශිෂ්‍යත්වෙ විභාගෙ ඉහළින් ම
පාස්වෙච්ච දවසෙ
උනපු කඳුළු
ඇස් ඇතුළෙ හංග ගත්ත
වැඩිමලා සිරිපාල

අම්මා
ලෙඩ ඇඳට වැටුණු පසු
රැක බලා ගෙන
උන්දැගෙ මළගම දා
ගහක් වගෙ නිසල ව උන්න
තනිකඩයා සිරිපාල

වෙද නලාව

වෙද නලාවක්
නැති ද
හදවතෙ
ඉසියුම් ම
තැන් හි
සුසුම්ලන
රිද්මය
අහන්නට
සමත්

මායිම

තල් අතු මායිමට වහං වෙලා
මට එදා පෑ මදහස් නුරා
බස් රියෙ කවුළුවෙන් එබී
මං කළෙමි ප්‍රේම ආරාධනා

කටු මැටි බිත්තියෙන් එහා
සෙල්වරාජ් අප්පා ඉන්නවා
එපා කෝලම් මහත්තයා
ඈ පැවසීය හොරැහින් බලා

බස් රියෙ නික්මීම සන් කළා
ඇගෙන් සමු ගන්නට වුණා
ඈ වත බොඳ වී ගියා
මතකයන් පමණක් තියා

පතොක් මල

වස්සානයට පෙරාතු ව
විකසිත වුණි ද
නුඹ
රුදුරු වන දුර්ගෙක
කර්කශ පතොක් පඳුරක

රකුසු වෙස් ගත්
සිවුපාවන් ද
වනයට අරක් ගත්
පිශාචයන් ද
වනය අවුළන
ලැව් ගිනි ද ගහණ
වැව් දිය සිඳුණු
නියං පොළොවක
වස්සානයට පෙරාතු ව
විකසිත වුණි ද
නුඹ


මුනිවත

මාතෘ සායනයේ
දිග පෝළිමෙ
නුඹත් උන්නා
ළා රෝස පැහැ
ලිහිල් ගවුමට යටින්
දරු ගැබක් හොවා ගෙන
නුඹට
පියවර කිහිපයක්
පිටුපසින් වුණත්
බිරින්දෑත් උන්නා
ඇගෙ වාරය
එන තුරු

මා සිත
බල කලේ
නුඹ වෙතට ගොස්
වචනයක් හෝ
මුමුණන්නට ය
එහෙත්
තවත් මා මුව
ඊට සූදානම් නැත

පොද වැස්ස

මටත් තිබ්බා
දවසක්
පොද වැස්සෙ
එක කුඩයක් යට
ප්‍රේමයෙන්
තෙමිච්ච
උණුහුම
විතරක් ම
යා වෙච්ච...

මධුවිත

ඇගේ
දෙතොලතින්
උතුරන්නෙ
මධුවිත ය
යථා ලෝකයෙන්
මා මුදවන

නියඟලා

හික්...!

නියඟලා
මකරන්ද
සුවඳට
පෙම් බඳින
බඹරෙක්!

බෝ රුක

මිසදුටු වල් පැළෑටි
උදුරා දමා
අළු කොට
සකසා ගත්
බිම් කඩේ
රෝපණය කළෙමි
ශ්‍රද්ධාවෙ
බිජුවට
මැඬලමින්
තණ්හාවෙ
පිළිලය
අතු විහිදුවා
වැඩෙමින් තිබිණ
ප්‍රඥාවෙ
බෝ රුක

එහෙත්
ඉක්බිති
මහා නියං සායකට
හසු ව
දිරාපත් වුණි
එහි මුදුන් මුල
ඉදින් දැන්
කොළ හැළී ගිය
වඳ ගසකි එය
වැස්සක් වැටෙන තෙක්
මඟ බලන් හිඳින

පන්හිඳ

පන්හිඳ
තර ව
අල්ලා ගතිමි

ඇය
ස්නිග්ධ
ස්නේහයෙන්
හදවතෙහි
බැඳුණු ලෙස ම

පිදුම

නුඹට පුදන්නට
පෙම් මලක්
මා සිත් ළපැල්ලේ
විකසිත ව තිබුණි

නුඹ නික්මුනත්
එහි සුවඳ
එ ලෙස ම ය....

නො පැමිණීම

පෙරදින
මේ සයුරු තෙරට වී
ඈ එන තෙක්
කොතෙක් නම්
බලා සිට ඇත්ද...

අදත් එ ලෙස ය
ඇය නැතත්...

Saturday, January 11, 2014

ශ්‍රමය


ගම රට අතැර
දුර කතර වු
නිදහස් පුරයට
ආවා ය
සන්නාලියක
වෙස් ගෙන

අවසන
ඔවුහු
ඇයගේ
ලිංගික ශ්‍රමය ද
සූරා කෑහ

Sunday, January 5, 2014

විල් තෙර

පිපාසය
සන්සිඳ වූ
විසල් විල් තෙර
සිඳී ගොස් ය

හාත්පස
සුවඳ ලූ
සඳුන් දැව කඳ
දිරා ගොස් ය

ආදරය
පුරවපු
වසන්තය
ගෙවී ගොස් ය