Sunday, September 21, 2014

දිනපොතෙන් ඉඩක්

ප්‍රියංවදා
නුඹට හැකි ද දවසක
හැම දෙයක් ම අතහැර
එන්න මා වෙත

යාපනෙ සරසවියේ
අකුරු කළ සිව් වසරේ
මොහොතකට වත් අපිට
හිතුණෙ නැති හැටි
පෘථිවිය භ්‍රමණය වන වග
කාලය නො නවතින බව

කැඩී කැඩී නුඹ
දෙමළ අකුරු අහුලපු හැටි
වරද්දන කොට සිංහලෙන් මං
ඔච්චම් කරපු හැටි
හැම දෙයක් ම
නිහඬ ව අහ‍ ගෙන
ඉන්නැති මහපොළොව

අම්මා අප්පච්චි සනීපෙන් ද
අයිය ලා තාමත් එහෙම ද
වලාකුළක් වත් නැති ද නුඹට
දුක සැප ලියා එවන්නට

දවසක් ඒවි කෙල්ලෙ
මහපොළොව අදහන
ආදරය ගැන
ආදරය ගැන විතරක් ම
එහෙම දවසකට ඉඩක්
පුළුවන් ව‍ුණොත්
තියාපන් නුඹෙ දිනපොතෙන්
ආදර ශංකර් නමින්

පිනි බින්ද

රැය පහන් කර
හිරු එළිය එද්දි ම
නුඹ කොහේ යන්න ද
පිනි බින්ද
ඇවිත් හැංගෙන්න
ඇහි පියන් යට
කාටවත්
නො පෙනෙන්න

රාමසාන් දවස

ෆාතිමා අපි
පර්දාව උනමු ද
රාමසාන්
දවසෙ මට
සඳ බලන්න
ඕනේ මැ යි

නිරාමිෂ අරණ

අර ඈත නිම්නය
නුඹට පේනව ද
එක යායට හීනියට
පිනි බින්දු රැදුණු
තණ පළස
එ අතරින්
සංවර ව ගලා බසින
පුංචි ‍‍දොළපාර
එ දිගේ ගැඹුරෙහි
එක පෙළට පිහිනන
මීන කැළ
උන්ගෙ දැඟලිල්ල
මොන තරම් අපූරු ද
එ සිතුවම

එහෙත් මිහිරිය
වසන්තය අහවර ව
හුදෙකලා මොහොතක
එ දසුනෙ අනියත බව
මෙනෙහි කොට
වඩමි විදසුන
නිරාමිෂ අරණක හිඳ

ලංගම

හද්ද පිටසර එහෙත් සුන්දර
ගමකි සුමිතුර ලබා ගුරුවර
ආයෙමි දුෂ්කර පළාතක දඹගිර

කළා නම් ඡන්දෙට වැඩ
ගන්න ඇහැකි ලු
කොළඹට ට්‍රාන්සර්
ටවුමෙ මිතුරු කැළ
කථා වෙනව ලු
අම්මා අහගෙන

රතු ම රතු ලංගමය
ටිකක් විතර අවපැහැ
දන්න අඳුනන උදවිය
නිතිපතා ගොඩ වෙන

බසේ රියදුරු නන්දන
මුව පුරා හිනාවෙන
ගුණපාල කොන්දොස්තර
හිත පුරා දොඩවන

දහයෙ කණිසමට
අවසන් රෑ මුරය
වෙහෙසකර මුත්
රජයේ සේවය නෙ

නිශාන්තය

නුඹ මගෙ ම නම්
නිශාන්තය පුරාවට
සඳක් අවැසි නැහැ
එහෙම නම් අහසට

කොත්තු කඩේ සෙල්වා

යාපනෙන් කොළඹ ආ
කොත්තු කඩේ සෙල්වා

රත් වෙච්ච තැටිය මතට
තෙල් බිංදු කරස් ගා වැටෙද්දි
කළු පපුව පිච්චෙන්නෙ නැති ද බං

ලද විරාමෙට ගිහින් ඈතට
දුමක් දල්ව ගෙන
පෙනහල්ලෙ හිර වුණ
වෙහෙසකර හුස්ම ටික
වීසි කර ඉහළ අහසට

ආයේ ඇවිදින්
කැඩී කැඩී වෙන් වුණ
රොටී කෑලි ටික
එකට එක්කහු කරන
අපූරුව උඹ

Friday, September 19, 2014

අඹ ලෑලි බංකුව

අඹ ලෑලි බංකුවක
උණුහුමට ළං වෙලා
සඳට දුර මැන්නෙ
අපි දෙන්නා එකට ම

එ අතර දොඩපු රහස්
අහන් ඉන්නැති
අඹ ලෑලි මේසය
හොර රහසෙ ම

අතැඟිලි පටැලි හැටි
බලන් ඉන්නැති
කළු ලෑලි පුවරුව
ඈතක ඉඳ ගෙන ම

නුඹ නාපු දවසක
අඹ ලෑලි මත මම
ලියමි දහසකුත් කවි
අපේ ආදරය ගැන ම

ආයෙමත් මම
තනිකමට හුරු වෙලා
සඳට දුර මනිමි
මතු දාක නුඹ දකින්න ම

එ දවස යළි
අපට හැකි වේ ද
උණුහුමට ළං වෙන්න
සඳවත සුපුරුදු ලෙස ම

වඩේ අක්කා

මීට අවුරුදු
කිහිපයකට කලියෙන්
නුගේගොඩ හන්දියේ
එල්ටීටීය තියපු
බෝම්බෙකට
ගිනිබත් වෙලා ගියේ
මගේ හදවත යි
උඹ ලැ ගේ අප්පච්චි
අළු ගොඩක් යට උන්නේ

ඒත් රත්තරනේ මං
ජීවිතේ අත්හැරියේ නෑ
උන්දැ නවත්වපු තැනින්
පටන් ගත්තා වඩේ කඩය
හන්දියේ තැබෑරුම ළඟ

මත් වතුර ඇඟ හළා ගෙන
දහසකුත් පිරිමි ගැවසුණ
උන් එක්ක හරි හරියට
ගැටුණා මිස
වුනේ නැහැ අවනත

වත්තේ පිරිමි එවුන්
ආවත් කොතෙක් ඉඳ හිට
හාද වෙන්නට අහ‍ ගෙන
ගෙට වැද්ද නො ගෙන
පන්නා ගෙන උන් ටික
අප්පච්චිගෙ මතකයට
ගුලි වුණා මිස
වුනේ නැහැ යහන් ගත

උඹට ‍නපුරක් නො වෙන්න
ගැහුවට බැන්නට
ආදරෙයි මහා සයුරක් වගේ
ඉවසපන් එහි ලුණු රස
කටුක යි දුවේ ජීවිතය
සොයාපන් පතුළෙ
හැකි නම් මිණි කැට

ඇත්ත
මං
පිරිමියෙක් වගේ
රළු වුණා

ඒත්
දුවේ උඹ
මලක් වගේ
සුපිපුණා

කහ පැහැය

දුරුතු මහෙ එක සැඳැවක් යට
හුදෙකලා දොළපාරක් අසබඩ
අපි ආදරය ගැන ඇන්ද සිතුවම
මතක ද නුඹට එහි පාට තව ම

ඈතට විහිදෙන විසල් කඳු වැටිය
එ මතින් නැඟ එන හිරු තැටිය
කහ පැහැය නො ව රත් පැහැය
විය යුතු බව පැවසුවෙ නුඹ ය

කාලෙකට පසු නුඹ ම සඳවත
ඉනික්බිති නැ‍ඟෙන හිරු වෙත
රත් පැහැය නො ව කහ පැහැය
අවැසි බව කීව ද දැන් ප්‍රමාදය

හීතලක්

ලේ පවා
ඝන වෙලා
යන තරම්
හීතලක් නුඹ
උරුම කළා
එ රැයේ මට

මෙවුලක්

ඉසිවර සිතක සමවැදි දැහැනක් සදිසි
ඉඳුවර නෙතක කළ රස අඳුනක් සුනිසි
හිමගිර පෙතක සුපිපුණු කුසුමක් විලසි
මල්වර ලියක දුටුවෙමි මෙවුලක් සැරසි

වරම

වරමක් ලද ව
විශ්වය ම
එක මිටකට ගත්ත ද
නුඹේ ප්‍රේමය නම්
එහි නො තිබිණ
සොඳුර

අමාවක කළුවර

අමාවක කළුවර වුව
රහසින් ම පෙම් කරයි
උදාවන්නට නියමිත
සඳට, එහි කාන්තියට

Wednesday, September 17, 2014

සංසාර කවිය

හන්තාන කඳු මුදුන
බලා හිඳී නිහඬ ව
නිල් පාට මහවැලිය
ගලා බසී රහසෙ ම

වස්සාන සිහිනෙක
කම්මුල ම රතු කර
තැබූ හාදු පෙළ
තවමත් සිහි කරමි

සංසාර කවියක
පන්හිඳ ම නතු කර
ලියූ පේලි තුළ
අරුතක් ගැන සිතමි

මධුසමයෙ මධුවිත

හිරුගේ දාහය ඉවස ගෙන
රාත්‍රිය පුරාවට සිහිලස ඉසියි සඳ

මතට තිත යැයි කියපු රටක
තබෑරුම් නම් ඕනෑ තරමින්
ගුණේ අයියගෙ මුළු ජීවිතෙ ම
මධුවිතට කලවම් වෙලා

රෑ දෙ ගොඩ වෙන තෙක්
මිතුරු කැළ පිරිවරා ගෙන
මධු සාදයන් ය බොහෝ දින
බෝතලයක් අහවර කරන්නට
ගුණේ අයියට ගජ මිතුරන්ට
උවමනා නැහැ පැය ගණන්

ඇරපන් බන් අනිත් මූඩියත්

පදමට ම වැදුණු පසු
ගුණේ අයියා ජෝති වන්නේ
නො නවතින ගී වැල
ඔහුගෙ මුවගට පාත් වන්නේ

සද්දෙ ටිකක් අඩු කළා නම්
පුංචි කෙළී පාඩම් කරනවා ගුණේ

විමල අක්කා මාළු පිළි ගෙන
අඩවන් නෙතින් උන් පිරිමි මැද්දට ගෑටුවා
ඇසක් ඉඟි මරා ගුණේ අයියා
සිහින් ලෙස කම්මුලක් ඇගෙ මිරිකුවා

මල කෝලං

රවා ඈ හෙළා නො රිසුම් බැලුම්
හනික ගේ ඇතුළට රිංග ගත්තා

සාදය අවසන කවුරුත් ම ගිය පසු
ගුණේ අයියා ගෙට ගොඩ වෙලා
අගුළු ලා දොර පියන් ජනෙල්
විමලා ඇද ගෙන යහනට වැදී
ඇගේ සළු ලිහා නිරුවත මත
තැනින් තැන හාදු තිබ්බා
උණුසුම් ම තැන් කෙළවලින් තෙමුවා

ගැහැනියක සනසන්න
ගුණේ නම් උඹ සැබෑ හපනෙකි

විමල අක්කට කියවුනේ ‍ඉබේට ම ය

ඒත් රත්තරනේ ඉවස ගන්න බැරි උඹෙ
අරක්කු ගඳ ය එහි අපුල බව ය

හිරුගේ දාහය ඉවස ගෙන
රාත්‍රිය පුරාවට සිහිලස ඉසියි සඳ

නිහැඬියාව

දහසක් දේ
පැවසුවත්
රාත්‍රිය පුරාවට
අහස නුඹ
දිගු
නිහැඬියාවක ය

තටු සිඳී

හීන මවන හැන්දෑවක
තටු සිඳගත් කිරිල්ලියක
සොයා ඇදෙමි ආදරයක
පාට තැවරි අනන්තයක

වස්සාන සිහිලස

ගිම්හාන ඍතුවට
ඇහැරෙන්න ඉඩදීලා
සොඳුරිය
අපි විඳගමු
වස්සාන සිහිලස
මේ අඩ අඳුරේ

සඳ කිනිත්ත

සඳ කිනිත්තක වුව
තියෙන්නේ
නුඹේ සිහිල් බව
සොඳුරිය

සෙවනැල්ල

මෙතෙක් කල්
නුඹ
මා සමඟ
වැටී උන්නා
මඟ නො හැර
කිසි දින
ඉතින් සුමිතුර
සමුගන්න අවැසි ය
විඩාපත් කය
අතහැර
ආයෙමත්
අප
හමු නො විය
යුතු බව
පසසමින්

පැතුම

අප්පච්චි
නුඹ
සිදුහත් වන දා
රාහුල වෙන්න
පතමි මම

නියඟය

දෑස් මිරිකා
ලේ කඳුළකට හරවා
හෙළමි
මහ පොළොවට
තෙතමනය
උරා ගෙන
ඉරිතැලුණු
පස් කැටි හාවෙන්න

බිඳුණ රළ

මුහුද යාබද
ගල් තලාවක
ආදරෙන්
අප උන්නු
කාලෙක
වෙරළ සිඹ සිඹ
බිඳුණ රළ ගැන
මොහොතකට
අපි
මෙනෙහි කරමු ද

අකුරක්

වැඩි කලක්
නො ගොස්
දුයිශෙන්
මිත්‍රය
නුඹ මියෙනු ඇත
එ දවස සිට
අකුරක්
රුපියලක්
වනු ඇත

සත්මහල් ප්‍රාසාදය

ආදරේ
සත්මහල් ප්‍රාසාදයෙන්
බැස
නුඹ එන තෙක්
පළමු මහලට වී
මම බලා ඉමි

වියපත් සඳ

නො ඉඳුල්
නමුත්
වියපත් වූ
සඳකි නුඹ

දමිළ කළලය

දුවේ මං
අවුරුදු දහ තුනක් වෙද්දි
උඹ ගැබ්බර කළේ
බලෙන් ම ය

නෑඹුල් මලක් වුණ
රත්තරනේ උඹ
පිරිමි ගැහැනු ගැන
උන්ගෙ ආදරය ගැන
මොනව ද දැනන් උන්නෙ

ඒත් ආයුධ අරන්
උන් ඇවිත් ගේ පීර පීරා
උඹ ව හොයන කොට
මං පෙන්නුවේ
උඹෙ ගැබ් ගත් බඩය
එහි නිදන
කිසිත් නො දත්
දමිළ කළලය ය

සස්වාමික සඳ

සස්වාමික සඳ
හොර රහසේ ම අපි
ආදරය කරමු ද
අහස් තලයෙන් බැස

Wednesday, September 10, 2014

නෙළුම් දණ්ඩක්

බොර දිය
පාදමින්
සෙව්වෙමි
මම
නෙළුම් දණ්ඩක්

පූදනු වස්
නෙළුම් මලක්

අවදි ව

සඳ පවා
නිදනා රැයක
තරු පවා
හැළෙනා රැයක
අවදි ව
හිඳින්නෙමි මම
සිහිනෙන්
දකින්නට නුඹ

දැඟලිල්ල

ඇගේ
හංස ජෝඩුව
ඉගිල්ලෙන
දඟලන තරම්

ඉතින්
මෑතකට වී
මම
ගොඩලමි
තිත්තයින්

මල් පෙත්ත

රළු මල් පෙත්තකි
නුඹේ තොල්පත
මධුවිතින් මත් වුණ
දෙ තොලින් ම
එය තද කොට
සිහි තොර කර ගතිමි
මම

තනිකම

දවසක් ඒවි
මමත් සඳකට
අඩිය තියන
එ දවස
නුඹ නෑවිත් ඉන්න
අහසට

අඩ සඳ

අඬ සඳකට වුව
හැකි ය
කළුවර
නිවන්නට
අනන්ත වූ
අහසක

Friday, September 5, 2014

කුමුදු මල

ගන අඳුරෙන්
තැවෙන
සඳ එළියෙන්
දැවෙන
කුමුදු මලක්
ඇය

එක නිශා යාමයක
මුහුදුබත් වූ ඔරු කඳක
ඇගේ ජීවිතය
ගසා ගෙන ගියා
සයුර පතුළට
ඇගේ මව්පියන්
අද එහි
නිදනු ඇත
මැණික් කැට දෙකක් ව

එ දවස
පටන්

දුක් උහුළන්නී
හඬා වැටෙන්නී
කෝරලේ ගෙදර
නැන්දා ළඟ
බැල මෙහෙවර කරන්නී

ගන අඳුරෙන්
තැවෙන
සඳ එළියෙන්
දැවෙන
කුමුදු මලක්
ඇය

වසත් කල සඳ

ඝන වලාවන් පෙළට
මැදි වී
නුඹ
සිනා සෙන අපූරුව
වසත් කල
සඳ

චෛතසික

නවාතැනක්
නැති ද වෙන
මගේ හිත
විතර ම ද
මුණ ගැහුනේ
නුඹ හට
අහුර ගෙන
හැම මුල්ලක ම
දැවටෙනා හැටි
චෛතසික

නො තිත් පබැඳුම

ලියන්නට
තව කවි
දහසකුත්
මේ හිතට
ඇති
ජීවිතය දැන්
දශක දෙකකට
බර යි

අක්කා

මහකණදරා වැව
නුඹ වාගේ මැ යි
ඈතින් පෙනෙන
මිහින්තල උතුම් ගිරි හිස
සිඹින මදනල කැටි වූ
විසල් දියවර පුරෝ ගෙන
දහසක් කෙත් වතු
අස් වැද්දුවා

පුංචි ගල් කැටයක්
වැටුණත් කැළඹෙන
වැව් පතුලේ ගැඹුරෙහි
සියවසක නටඹුන් රකින
සුදු නෙළුම් පවා
සුපිපෙුනේ
එ නිල් දියවර මත ය

ඉතින් අවසර
පැන් දෝතක් ගෙන
අත් පා දොවා
වැව කපා
ගොඩ ගත්ත
පස් ගොඩෙන්
බැඳ ගත්ත
දාගැබ
වැඳගන්න

Thursday, September 4, 2014

හරි කෙනෙක්

උඹත්
හරි කෙනෙක්
සඳ
පාළු යි
කියා දැන දැන ම
එළිය
කරන හැටි
මගේ ලොව ම

පොරෝනය

මොහොතකට
එන්න
මේ පොරෝනය
ඇතුළට
ගුලිවෙන්න
මාත් එක්ක

විඳගන්න එහි උණුසුම
බිඳලන්න ඔය තනිකම

මතක පොත

ඉස්සර
‍‍බොහො ම
උණුසුම් ව තිබුණ
මතක පොත
අද
හොඳට ම
හීතල වෙලා

හිම වැස්සක්

හිම වැස්සක්
කඩා හැලේ
ආදරය ලෙස
සෙම්ප්‍රතිශ්‍යාව
දරා ගත
නො හැකි
රැයක

සියුමැලි අතැඟිලි

අම්මා ඇවිත් නළලට අත තියල
ආදරෙන් අහනව උණ ද කියල
ඔව් හොඳට ම කකියනවා ඔළුව
ඉවස ගන්න බැහැ අම්මේ මට
සියුමැලි අතැඟිලි පහ එ ඇසිල්ලට
හීන් සැරේ නළලත පිරිමදිනවා
ඇදුම් දෙමින් පුපුරන්න හදපු ඔළුව
මොහොතකට සුවපත් වෙනවා

බලය බෙදීම

ශිරා
ධමනි
නො වන්නට
හැකි වේ ද
හෘදයට
ගෙන යන්න
ඇඟ පුරා
රුධිරය

මල් පැළය

අහෝ මෙහෙව් රටක්
නැත එහි මිනිස් පුළුටක්
පෙර දවස මුතු ඇටයක්
අනේ අද කඳුළු කැටයක්

එක ම අම්මෙක්

පයෝධර යුග
ගලවා ගෙන යති
එකෙක්
කිරි දොවන්නට බැහැ
ඉතින්
තවකෙක්
උගුලා ගෙන යති
ඇගේ ලිංගය
දරුවන් වදන්නට බැහැ
තවත්
හදවත පළා
දකුණු පස එකෙක්ට
වම් පස තවකෙක්ට
යුද වැදී
බෙදා වෙන් කර ගත්
පසු ව
මිහිදන් කළ හැකි ය
අම්මගෙ මළකඳ

ඉතිකින්

එන්නත් කළ යුතු ය
මිනිසත් කමේ රුධිරය
සුන්නත් කළ යුතු ය
නො මිනිස් කමේ පිළිලය
රෝපණය කළ යුතු ය
ආදරයේ මල් පැළය

ප්‍රකාශන අයිතිය

ඔයාගේ නමට
ආදරයෙන් ලියපු
කවි එකතුව
පොතක් ලෙස
මුද්‍රණය කළෙමි
ප්‍රකාශන අයිතිය
වෙන අයකුට
පවරා දී

නිවෙන තැන

මතක මාවත දිගේ ආයෙමත් ඇවිද යමි කෙසේ
සොඳුරු ආදර සුවේ හීනයෙන් ඇහිද ගමි මෙසේ
අඳුරු ජීවන තොටේ පාළුවෙන් පෙළන හැම දිනේ
සසර සාගර ඉමේ ඈතකින් නිවෙන තැන පෙනේ

අබිසර

කළුවර කපා ගෙන සඳ රැස් දහරක් කඩා හැළෙන යාමයේ
මනහර සිනා දෙන මුව ඇස් යුවළක් නුරා සලන සීතලේ
පිනිබර වරා මල තුරු හිස් මුදුනක් ලිහා යනෙන මාවතේ
අබිසර බදා ගෙන පෙම වස් කවියක් කළා නැවෙන ජීවිතේ

ගමන

ජීවන ගඟ
කෙම කෙමෙන්
ගලා බසී

ඉතින්
මොකට ද
ඉක්මන් ගමනක්
සයුර
වෙරළෙ දී
මුණ ගැසෙන බව
දනී නම්