Tuesday, December 31, 2013

නැවතුම

දුම්රිය නැවතුමේ
බංකුවකට බර වී
ඈතින් ඇදෙන
දුම්රිය දෙස
නෙත් යොමා සිටියෙමි
නුඹ එතැයි
වෙනදා මෙන් ම

මා අසුන් ගෙන හුන්
තුන්වන මැදිරිය පාමුල
දුම්රිය නතර විණ
ඒ ඇසිල්ලට
සිතත් රැවටිණ
නුඹත්
මා අද්දර ලෙස ම

එහෙත් මොහොතකට පසු
තිරිංග මුදවා
දුම්රිය ඉදිරියට ඇදිණ
මා පසු කර
එ දවස
නුඹ මගෙන්
සමුගත් ලෙස ම
පීලි කිසිදා
හමු නො වන බව
සපථ කර

Wednesday, December 18, 2013

අහස

අහස් තලය ම පැහැබර යි
එ නමුදු
වැහි වලාවක සේයාවන්
ඈත ඉමක නතර වී

දැන් ම සමු අරන් යන්
මේ අහස අත්හැර

හිත රිදවීම

හිත රිදුණ ද මිහිරේ
මහද කළ සරදමින්
සිහින මංසල බිඳ දමා
ඉතින් හැරයනු මා දමා

යොවුන් දෙහදක
සුපිපි කුසුමක
සුවඳ පමණක් ම රඳවා
මිලින වී යන දිනකි අද

නුඹත් ඔහුත්
වෙරළ තීරෙක
තුරුළු වන්නට තනි ව හැරදා
සමු අරන් යන දිනකි අද

හිරු නොමැති පැය

මම දුරක ගියා
සඳ එළිය සොයා
මල් පිපෙන රැයේ
හිරු නොමැති පැයේ

මගේ සුසුම් දිගේ
රන් සුරතලියේ
තවමත් දැවටෙනවා
නුඹේ හැඟුම් රටා

මගේ ලවන් පුරා
රන් සුරතලියේ
තවමත් ඇළලෙනවා
නුඹේ හාදු රටා

සඳ සේ පින්සාරි

සඳ සේ පින්සාරියේ
නුඹෙ සිත් අහසෙ
සැරිසරන
තරු අත්අකුරු
ගළපන
පෙම්පත පිළිගන්
රෑ අඳුරෙ ම
ඊට පිළිතුරු එවාපන්

ප්‍රථම දසුන

ප්‍රථම දසුනින්
හද කැන්වසේ
කෝඩුකාරකමට
ඇන්දෙමි
පෙම් සිතුවමක්

ඒ සිතුවම
බොඳ කළ
ගැහැනිය
මේ කඳුළ
නුඹට කැප ය

මතක සැමරුම්

හද සුසුම් පිරි - නෙතු පියන් වැසි
ඉකි බිඳියි මහද හැඟුමන්
සිත පහන් නිවී - පෙම් ලොවින් මිදී
මා දවයි මතක සැමරුම්

මීදුමෙන් වැසි - කඳු මුදුන් පුරා
නුඹ එබෙයි අහස් සළුවෙන්
මල් සුවඳ රැඳී - මද පවන් සරා
මා සොයයි අහිමි සැනසුම්

රෑ ගිමන් නිවූ - සඳ දියෙන් තෙමූ
හිත හිඳියි අඳුරේ දැවෙමින්
නුඹේ සුවඳ රැඳි - නිදි යහන් පුරා
මා සිඹියි ඉහිරි කුසුමන්

ස්වර්ණ හංසියේ

ලෝචන යුග්ම දැහැන් බිඳා
දුහුල් සළුවෙන් මිදී
තරු රැයෙන් මිදෙන්නට පෙර
නඳුන් උයනට වඩිනු මැන
ස්වරණ හංසියේ

තිසර යුග්ම පියුම් තලා
සුනිල නදියෙන් මිදී
සඳ රැයෙන් මිදෙන්නට පෙර
සුරන් මැදුරට වඩිනු මැන
ස්වරණ හංසියේ

ලවන් යුග්ම ගිමන් නිවා
සිහිල් හිරිපොදින් තෙමී
මැදියමෙන් මිදෙන්නට පෙර
සඳුන් යහනට වඩිනු මැන
ස්වර්ණ හංසියේ

Saturday, December 14, 2013

මලක් ලෙස

මලක් ලෙස
පිපුණි නම්
පර ව යා යුතු ව ඇත
කවදාක හෝ
එහෙත්‍
හැකි තෙක්
සුවඳ දී

නටුව

පෙති එකින් එක
ඉවත් කර
තනි කළෙමි
නටුව
දැන්
ඇඟිලි තුඩු
ගැඹුරට
කටු කිඳෙයි