Tuesday, December 25, 2012

එක දවසක්

පියුමි මගෙන් ඈතට යද්දි
තනියට මං ළඟට ආවෙ සඳුනි

‘නිශාන්ත ඔයා අද හැන්ඩ්සම්’

එයා කථාවට මුල පිරුවා

ජීවා...
ප්‍රේම්...
ඒ දෙන්නා ගැන ගොඩක් දේවල්
අපි කථා කළා

ඒත් හිටි ගමන්
එයා කිව්වා

‘හිරුණ එන්න කලින් ඔයා යන්න’

මං කැලුම්ගෙන් දැන ගත්තෙ
එයා අරුණත් එක්ක ආපු
හිරුණට හිත දීලා කියලා

Sunday, December 16, 2012

පුංචි මධුමතී

සියුමැල්ලෙන්
මධු ඩැහැගත් බඹරුන්
හසරැල්ලෙන්
හිත් රැවටු අනඟුන්

සිහිලැල්ලෙන්
තොල් පිනවූ කිඳුරන්
කඳුළැල්ලෙන්
නෙත් රිදවූ සලෙළුන්

වස්සානෙන්
පෙති ගිලිහී ගියතැන්
දිවි ළැහැබෙන්
මිලිනව යන පියුමන්

Tuesday, December 11, 2012

මහණ දම

පන්සල් වත්තේ කොලු ගැටයින්ගේ විසේ
දකිනා විටදී පොඩි සාධුගේ හිත ගැස්සේ
නැටුමට ගැයුමට කෙළියට ආසා වයසේ
හැඬුවා සිහිව අම්මා හොඳටම රහසේ

ලොකු සාධුගේ බණ පද සිහි වී ආයේ
හිත නිවෙනවා පොඩි සාධුගේ කෙළි වයසේ
බුදු සාධුගේ රූපය යට පිදු මල් අහුරේ
හිත පිරෙනවා පොඩි සාධුගේ මල් සුවඳේ

කහ සිවුරේ කහ පාටට නිවන හැඩයි
වැලි මළුවේ වැලි ගානට සසර දිගයි
බෝ කොළයේ සිලි සිලියට සවන පිනෙයි
සංසාරයේ නැවතුම් පළ මහණ දමයි

Saturday, December 8, 2012

ප්‍රථම විරහව

සිහිවටන පොදි බැඳ
සමු ගතිමු
ප්‍රථම ආදරයෙන්
දෑස් පමණක් දෙඩූ
කතා බහ නතර කර
යළි හමු නොවන බව
දිවුරමින්

මැදියමක
ගන නිල් අහස වසා
ළං නොවන මායිමක
නැවතිලා
තනි තරුවක්ව
පායා හිදින්නෙමි
දිවි ඇති තුරා

Wednesday, November 28, 2012

රාත්‍රියක් පාසා

රාත්‍රියක් පාසා
නුඹ ඒවියැයි සිතා
දෑස ම දල්වා
මං බලාන උන්නා

හීනයක් පාසා
නුඹ සක්මන් කරනා
තුරුළට ගෙන මා
සිපගන්නේ කවදා

ගීතයක් පාසා
නුඹ ගැන පවසමිනා
ළමැදට ගුලි වී
සැතපෙන්නේ කවදා

Friday, November 16, 2012

හැම කවියක් ම

ඔයා ලියන පෙම් කවියේ
කොතැනක හරි
මගේ නම
අඩුම ගානේ
අන්තිම පේළියේ
අන්තිම වචනෙවත්
තියෙනවද

ඒත්
මං ලියන හැම කවියක ම
හැම වචනෙක ම
හැම අකුරක ම
ඔයා ගැන ම
විතරක්
ලියැවෙන හැටි

Thursday, November 15, 2012

කරදිය ගැඹුර

කරදිය ගැඹුර වෙත ඔරුකඳ පදවනවා
මැදියම අහස වට කළුවර පුරවනවා
සඳතරු අහුර දැක හදවත නවතිනවා
ගංදිය දහර වෙරළෙ දි මට හමුවෙනවා

සුරතල් සතෙකු අසු වූවොත් මාදැලට
ගෙන යමි පුතුන් දෙදෙනා හට දඟලන්ට
එනකන් නොකර කරදර හිරිහැර අම්මාට
නින්දට වැටෙනු සාවුනේ සඳ තොටිල්ලට

කරගැටවලට දෑතේ ඉරණම් ඉර මැකිලා
හිරිකඩ වදින සීතේ උණුසුම් වෙමි කෙළෙසා
සයුරට ඇදෙන ඔරුවේ බර කර වැටෙනා
ජලකඳ පමණි අසනුයේ කවි හූමිටි දෙමිනා

දහඩිය කඳුළ දුක සුළඟට දැවටෙනවා
ගොරහැඩි චණ්ඩ රළ වෙරළට ගොඩලනවා
කරුමය ගෙවා අලුයම හෙට පිබිදෙනවා
ගොරතර සසර කවදා අප ගොඩවෙනවා

Wednesday, November 14, 2012

මා ළඟ ම
මට දැනෙනවා
මට පෙනෙවා
මට ඇහෙනවා

Monday, November 12, 2012

අසම්මතය

අවාරයේ විකසිත කුසුමක් ලෙස
නුඹ මා අබියස නැවතී
අයාලයේ ගිය සිත එක්තැන් කළ
නුඹ මා හදගත් යුවතී

අසම්මතේ එක්වුණ යුවළක් ලෙස
ලොව ම අපට පවසයි
ආදරය මෙයයැයි අදහනු මැන
ලොවට අපව අහිමියි

අනන්තයේ තනිවුණ තරුවක් ලෙස
ලොව ම අප තනි කරයි
දෛචය කෙබඳු ද නොතකනු මැන
අපට අප දෙදෙන හිමියි

Sunday, November 11, 2012

වැහි දාක

කඩපිල වෙත නුඹ ආ දවසේ
නොතෙමී ඉන්ට සැඟ වී වැස්සේ
අප දෙදෙනා ම එක කුඩයක් අස්සේ
ළඟ වැඩි නිසා මගේ හදවත ගැස්සේ

වැහි බිඳු එකින් එක වැඩි වෙන්නේ
නුඹේ ඇඳිවත ම වැස්සට තෙමෙන්නේ
හිරිකඩ වැදී සියොලඟ කිලි පොළන්නේ
නුඹේ රූ සපුව දුටු සිත නටන්නේ

වැහි බිඳු කෙමෙන් කෙම අඩු වෙන්නේ
නුඹ සීතලට ගුලි වී ගැහෙන්නේ
උණුහුම වැදී සිරුර ම මගේ නිවෙන්නේ
නුඹේ ආදරය පපුවට ම යි දැනෙන්නේ

වැස්සක් වැටෙන මොහොතක කඩපිලට
ආයෙත් දිනක නුඹ ඒවි ද දකින්නට
කුඩයක් නැති ව එන්නම් මං එදාට
අප දෙදෙනාට අත් අල්ලන් තෙමෙන්නට

Saturday, November 10, 2012

වැටහීම

ඔහුගේ දෙනෙත් තුළ
සඟවා ගත් කාරණය
මම සොයා ගතිමි
එය සඟවන්නට
එහෙත් හඟවන්නට
ඔහු දැරූ වෑයම

මගේ හිත තෙත් විය

ඒ ඔහු ගැන
මගේ හිතේ
පළමු වරට
උපන් හැඟීමයි
ඔහු ප්‍රේමය ලෙස
වටහා ගත්

Friday, November 9, 2012

සිත්තරා

කැන්වසය ඉදිරියේ
මොහොතකට
මම නතර වුණෙමි
අතොරක් නැති
සිතුවිලි දාමය
එක්තැන් කරගන්නට මෙන්
සායම් තවරා ගත්
නමුත්
එකදු පින්සල් පහරක්වත්
කැන්වසය මත
සිතුවම් කිරීමට තරම්
මනස නිරවුල් නැත

මා තුළ ජීවත් වු
සිත්තරා ද
ඇගෙන් සමුගත් දා
මියැදී ගොසිනි

අවසන් පැතුම

නුඹ මනමාලියක් වන දින
මා පස් ගොඩක් පමණි
එය පාගන්න

Thursday, November 8, 2012

මිදුණු රුධිර කැට

හදේ අවසන් සුසුම තෙක්
නුඹට පෙම් කළ බව
මා පමණි දන්නේ

සුසුම් නොසලන හදවත
දෙබෑ කර බලනු මැන
එහි මිදුණු රුධිර කැට
නුඹේ රුව රකින හැටි

හැඟුම් තැවරුණ කවිපොත
ලිහා හැර බලනු මැන
එහි රැඳුණු අකුරු කැට
නුඹේ ගැන කියන හැටි

Wednesday, November 7, 2012

පුනර්භවය

වියෝ වූ ප්‍රේමයේ
මිහිදන් පල
පුනර්භවය ලදිමි
ඔබේ සුසුම් සිඹ

Monday, November 5, 2012

උමතුව

මායාවක් ද ජීවිතේ
ප්‍රේමයෙන් උමතු වු
වේදනා මාරුතෙන් දැවෙනා

සිහිනේ පුරා ඈ දැවටේ පෙමින්
සොයමි ඇගේ රූ ළතැවී නුවන්
සසරේ සදා පෑ සෙනෙහේ නමින්
ගයමි මෙසේ ගී තනිවී සොවින්

අඳුරේ පවා ඈ දැල්වේ කෙමෙන්
පතමි ස‍දේ රෑ ගත වී නොයන්
මිහිරේ කියා මා ඇමතූ ලවන්
විඳිමි කෙසේ ඈ හැරදා ගොසින්

Friday, November 2, 2012

මතකය

මතකද ඒ දවස

ඔයා මගේ
පපුව දිහාවට
වත්තම් වෙච්ච
ඔයාගේ ඉඟ වටා
මගේ ඇඟිලි තුඩු
ඇවිද ගිය හැටි
ඒ ඇසිල්ලට
ඔයා මගේ
මුහුණ පුරා
ඇන්ඳ හාදු රටාව...

උණුහුම් ම හාදුවෙන්
අපි දෙන්නගේ
දොතොල් තල
එකට ගැටුණු හැටි

ආයෙමත් ඒවිද
ඒ දවස

Thursday, November 1, 2012

සමාධිය

පිනි තැවරුන මල් පෙති
කවුළුවේ පියැසි අතරින්
සුළගේ පාවී යයි
තරු කැට වසා ගත්
සඳ එළිය මැදින්
රාත්‍රි අහස ගෙවී යයි

නුඹට රිසි සේ වැතිරෙමි
යහන් තලය මත
ගන අඳුරට වහං වෙලා
සළු එකින් එක
උනා දමන්න

දෙතන දෙපුඬු
උස්ව සැලෙයි
දෙතොල් දෙතල
සෙමින් ගැටෙයි

එහෙත් මිහිර
නුඹ සමඟ
සල්ලාල වන්නේ
නුඹට පැවරුන
මගේ සිරුර ය
මේ රාත්‍රිය ම
හදවත ගෙවා දමන්නේ
ඔහු සමඟ
විරාගී සමාධියකි

Wednesday, October 31, 2012

අගුළ

අගුළු දමා
දොර වසා ඇත
කිසිවෙකුට
ඇතුළු විය නොහැකි ලෙස
පලක් නැහැ
තවදුරටත්
දොරට තට්ටු කිරීම

Friday, October 26, 2012

කිරිකඩ සේලය

හදේ පිපුණු පෙම් මල පුද දීලා
නුඹේ දෝණි මා කැන්දාගෙන යන්නේ
සඳසාවිය නුඹේ රැකගමි සැමදා
කිරිකඩ සේලය පිළිගනු මැන අම්මේ

ස‍දේ හැදුණ සඳසාවිය නැළවී
නොරිදන බව මා දිවුරා පවසන්නේ
මනමාලිය මගේ සනසමි සැමදා
කිරිකඩ සේලය පිළිගනු මැන අම්මේ

විලේ පිපුණු පියුමිය නෙළාන
පියඹන බඹරකු ලෙස නොසිතන්නේ
නුඹේ ම පුතු ලෙස සලකා මා
කිරිකඩ සේලය පිළිගනු මැන අම්මේ

Thursday, October 25, 2012

කඩදාසි බෝට්ටු

ඈට කවි ලියද්දි
අහක දාන කඩදාසිවලින්
පොඩි කොල්ලෙක්
බෝට්ටු හදන හැටි
මං ආසාවෙන් බලා උන්නා

මල්මිට

මල්මිටක් අරන්
හෙටත් එනවද
වෙහෙර දොරකඩ‍ට
මිලට ගන්න

Wednesday, October 24, 2012

කවදාක හෝ

ඇහිපිය සල සලා
ඔබ ගැන හිත හිතා
රැය පහන් වන තුරා
නෙතු හිඳි මඟ බලා

වස්සානේ වැහි සලා
හදවතේ ගිම් නිවා
කවදාක හෝ ඔයා
එනවාද මා සොයා

වස්සානේ මල් පිපී
හදවතට සුවඳ දී
කවදාක හෝ ඔයා
එනවාද මා සොයා

Monday, October 22, 2012

අම්මා

දිගක් නැහැ
පළලක් නැහැ
උසක් නැහැ
පරිමාවක් නැහැ


Friday, October 19, 2012

දිගු රාත්‍රිය

මහත්තයො
මෙච්චර කල්
මට දැනුනේ
මගේ ජීවිතය
කළුවර රාත්‍රියක් කියලා
ඒක කවදාවත් ම
ඉවර වෙන්නෙ නැති
අන්ධකාරය විතරක් ම
පුරව ගත්ත
අමාවක රාත්‍රියක් කියලා

ඒ රාත්‍රිය අහවර වෙලා
හිරු රැස් වැටේවි
මල්පෙති දිග හැරේවි කියලා
බලාපොරොත්තුවක්
මට තිබුනෙ නැහැ
මහත්තයො

මගේ තනියට උන්න
මේ යහන කියාවි
මේ රාත්‍රිය පුරාවට ම
මං මගේ යහන
කාත් එක්කවත් ම
බෙදා ගත්තෙ නැහැ කියලා

ඒත් අද
පළවෙනි වතාවට
හදවතේ නහරවලට
ලේ කාන්දු වෙන රිද්මය
මට ඇහුනා

මහත්තයා දැන් යන්න
එළිය වැටිලා හොඳට ම
තරහ වෙන්න එපා
මට සල්ලි එපා මහත්තයො
මට මගේ ශරීරයට
මිලක් නියම කරන්න පුළුවන්
ඒත්...

Wednesday, October 17, 2012

කුරුලු ජෝඩුව

ඇගේ කූඩුවේ
පරිස්සමට උන්
කුරුලු ජෝඩුව
ඈටත් හොරා
ඉන් මිදී
ඉගිල ඇවිත්
මගේ
යට කලිසමේ
සාක්කුවට
රිංග ගත්ත හැටි

Saturday, October 13, 2012

විශාදය

මට තනිවෙන්න ඕන
එච්චරයි
උඹලා
හිතනවා වගේ
මට ඇති
මොලේ අමාරුවක් නැහැ

Friday, October 12, 2012

කපුරු මල

සීතලට කපුරු මල්පෙති හැකිළී යනවා
හීනියට වැහි බිඳු එක දෙක රූරනවා
රාත්‍රියට නුඹ මගෙ හිත වෙත ගාටනවා
යාන්තමට වගේ ඇස් දෙක පියවෙනවා

මීදුමට සඳ රැස් පෙළ මුහවෙනවා
කාන්තියට ගන අඳුර පැන යනවා
හාන්සියට නුඹෙ ළැම වෙත බර වෙනවා
කාන්දමට වගේ මගෙ හිත ඇළවෙනවා

පාන්දරට වැඩ බිම වෙත යනවා
රාස්සියට කරවී මුළු ඇඟ කකියනවා
කාන්සියට නුඹ ඇඟපත මිරිකනවා
චීත්තයට පෙරවී මං නිදියනවා

Monday, October 8, 2012

කෞමදිය

ජීවිතයේ සොඳුරු ම දින
ඔබ ඇසුරෙහි ගත කෙරුවෙමි
සීගිරියේ අප්සරාව හා
සුයාමයට ගොඩ වැදුණෙමි

ජීවිතයේ මිහිරි ම පැය
ඔබ සිරුරෙහි සැරි සැරුවෙමි
හිමාලයේ නාරි පියුම පෑ
සුගන්ධයට සම වැදුණෙමි

ජීවිතයේ තනිකඩ කම
ඔබ දෙතොලෙහි දිය කෙරුවෙමි
කෞමදියේ මුවරඳ වෑහි
සුරාන්තයට පිය නැඟුවෙමි

Sunday, October 7, 2012

මෝසම් වැස්ස

මෝසම් වැස්ස එනකන්
මං බලං උන්නා
ගොයම වපුරන්න

මෝසම් වැස්ස
එන්න එන්න ම
දැඩි වුණා
ලියැදි කඩා ගෙන
වැහි වතුර
ගොඩ ගැලුවා

ආ‍යේ නෑවිත් ඉන්න
මෝසම් වැස්ස
ඉවස ගන්නං මං
පෑවිල්ල

Saturday, October 6, 2012

ආයාචනය

සඳ
නුඹ
ඉවත් වන්න
මට
අවශ්‍ය යි
කළුවර
විඳින්න

Friday, October 5, 2012

සුළඟ

මගේ අවසන් සුසුම
මුහු වුණ
සුළං පොද
කෙදිනක හෝ
නුඹට මුණ ගැසේවි
ආගන්තුකව හෝ

Thursday, October 4, 2012

කාලයේ වැලි තලාව

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය
ආදරේ මතක වත තුළට වී
මීදුමෙන් වැසී ගිය මාවත ඇවිදමින්
ජීවිතේ වසත් කල ගත වී යාදෙන්

පාළුවේ වැහි වලාවෙන් බර වු
රාත්‍රියේ ගන අඳුර තුළට වී
සීතලේ ගැහී ගුලි උණුසුම් අයදිමින්
නෙතු පියන් තෙමන කඳුළ තනි මකපන්

යෞවනේ මුදු ආශාවන් කැටි වු
හදවතේ පෙම් මැදුර තුළට වී
මීවිතෙන් තවා හිත සොම්නස පුරවමින්
තොල් පියන් නිවන පහස නුඹ වෙයන්

ආරාධනාව

දෙබෑ කරනු
එක පහරින්
හෘද කුටීරය
උනා දමනු
එහි වු
නහර
මස් වැදලි
අපුල වු
ලේ කැටිති
පුරවාලනු
මිනිසත් කමේ
උණුහුම් දිය දහර

සන්නාලිය

හෙළුව වහන
සළුව වියන
රන් කඳ...

Tuesday, October 2, 2012

දෙනුවන් පානා

දෙනුවන් පානා ඉඳුවර ලීලා
සඳකැන් සේනා මල්වර වීලා
සිහිනෙන් සිහිනේ සරහා
හසමල් යහනේ පිපෙනා

සඳවත රූරා සඳදිය ගලනා
හදවත පාරා උණුදිය ගෙනෙනා
කඳුළෙන් කඳුලේ ඇලෙනා
දෙනුවන් දැහැනේ මිදෙනා

මධුවිත උතුරා දෙතොලත තෙමනා
උණුසුම තවරා සරතැස නිවනා
මොහොතින් මොහොතේ මැකෙනා
හදවත් පෙර සේ බැදෙනා

Wednesday, September 26, 2012

පිය සටහන්

නො මියෙන
සෙවනැල්ලක්
පසුපස
ආදරයේ
සොවින්
තැවී තැවී
තවදුරටත්
ඇදී යමි
තවදුරටත්...

සලෙළු සළරූ

“වැඩිහිටියන්ට පමණයි”
තවත් එක්
සල්ලාලයකු වැඩක්

සදාචාරයක්
සංස්කෘතියක්
දන්නේ නැති උන්ගේ වැඩ

ඕවා හොදයි
කොල්ලන්ට කෙල්ලන්ට
බොක්ස්වල ෆන් ගන්න

කොල්ලො කෙල්ලො
හෙළුවෙන් පෙන්නුවම
උන් හිතන්නේ
ඒක සම්භාව්‍ය යි කියල

මේක මචන් මාර්කටින් වැඩක්
යූත් එක ටාගර්ට් කරපු

ඔහුගේ දෘෂ්ටිවාදය අතිශය ජීව විද්‍යාත්මකයි

එහි ඇත්තේ පශ්චාත් නූතනවාදී සංකල්ප

ලිංගිකත්වය කියන්නේ
මානව ශිෂ්ටාචාරය තුළ
කිසිදා වෙන් කළ නොහැකි
ප්‍රපංචයක්

“සිනමා පටය වාරණයට”
                      - ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය -

රඟලා හමාරයි !

Tuesday, September 25, 2012

යටි පෙළ

ජීවිතය කියන්නේ කවියක්
නොදැනුවත් ම ලියවෙච්ච
කවුරු කවුරුත්
තමන්ට තේරෙන විදියට
යටි පෙළ කියවන

පිවිසුම

මම
මොහොතකට
දෙනෙත් පියා ගතිමි
ඔබ
සැනෙකින් හදවතට
පිවිසෙන අපූරුව
සදහට ම

වෙහෙස

තත්පර
මිනිත්තු
පැය කටු
දුවවන
මැෂිමක
එකිනෙක
ගැටෙන
දැති රෝද

වරින් වර
නගන
රළු
පරුෂ
හඩ

දුහුල් පට

මගේ දෑස් වසා
නුඹ බැඳි
තුනී සළුවෙන්
විනිවිද දුටුවෙමි
රූසපුව
මෙතුවක් නුඹ
සඟවා ගත්
නිරුවත

Thursday, September 20, 2012

ආදරේ තොටුපල

ඉඩෝරය අහවරයි
මේ වස්සානයයි
ඇගෙන් සමුගත් දා
කෝකිලාවක් ගී ගයයි

කඳුළු හැලී ගිය
කාලය අතීතයයි
ඇගෙන් ලත් රිදවුම්
කාලයෙන් වැසී ගියාදෙන්

පහන් ටැඹ පාමුල
ආදරේ තොටුපලයි
වියෝගයෙන් ලත් සරදම්
මතකයෙන් ගිලිහිලා යාදෙන්

Wednesday, September 19, 2012

නික්ම යාම

දහඩියෙන් පෙඟී ගිය වැරහිලි ඇඳන්
මීවිතෙන් තවා දුක කඳුළැලි දරන්
පාවෙමින් ඔහේ හිත වලාකුළු මැදින්
සීතලෙන් ගැහී ගුලි කම්මැලි කමින්

ඇබෑර්තු ඇත !

තරුණයෝ පෙළ ගැසෙති
පෝළිමේ සිට ගනිති
හිඟා කන හැටි බලති
එකා පසුපස එකා

 “ගෙනාවද ඇමතිගෙන් ලියුමක් ?

පාරමී පුරන්න බැහැ
බෝසතුන් වගේ
ඇට දිරෙනකං
ලේ හිදෙනකං
මස් හැලෙනකං

“ඉඳා බත් එක කාපං”
අම්මගේ ආදරේ
දරා ගන්න බැහැ මට
මට සමාවෙන්න
මං මහා කාලකන්නියෙක්

ගන අඳුර - තද සුළඟ
ගිනගෙන වියරුවෙන්
නළියන - තරු රෑන්

ලණුව කෝ සුසුම් සිර කරන
මී බඳුන කෝ දෙතොල් තෙත් කරන
තවත් බැහැ ඉන්න මට
අම්මේ මං යනවා යන්නට

Tuesday, September 18, 2012

නිරුත්තරය

“තවදුරටත්
මං ඔයාට
බොරු කරන්නේ නැහැ”


මං අහපු ප්‍රශ්නෙට
ඈ කීවේ එහෙමයි

Monday, September 17, 2012

පොහොය හඳ

මං
කැළලක් කියලා
රැවටුනේ
හා පැටියෙක්ට


අහිංසකයි
පොහොය හඳ වගේ

Sunday, September 16, 2012

පළමු පෙම්පත

ඒක හරියට
ආධුනිකයකු අතින් ලියවෙච්ච
කවියක් වගේ
ගැලපීමට වඩා තිබ්බේ
නොගැලපීම
අනුකරණවලට කොටුවෙච්ච
උපමා, රූපක ආදි
කාව්යාවලංකාර
එක ම අදහස කියන්න
වල් හෑලි ගොඩයි
ගැඹුරක් නැහැ
පළලක් නැහැ
බාහිර ආටෝපය විතරයි
නිදහසකුත් නැහැ
ආකෘතිමය වශයෙන් සිරවීමක්
ඇත්තට ම ඒක
සහෘදයාට
කටුක අත්දැකීමක් වෙන්නට ඇති
වින්දනයක් නැහැ
විඳවීමක්
මගේ පළමු කවිය ගැන
නිර්මාණකරුවකු වශයෙන්
මට ඇත්තේ
නිර්දය විවේචනයක්

Friday, September 14, 2012

ගල් පිළිමය

දවසක්
ඇගේ
බඳ වටා
අත යොමා
තුරුලට ගෙන
කොපුලත වු
පිනි බිඳුව පිසලන්න
වෑයම් කරද්දි

කියනවා

“රාගයෙන් තොරලු ප්‍රේමය”
ඒත්
එක ම එක
හාදුවක්...

මං
ආයාසයෙන්
මැඩ ගත්තා
සිතුවිලි දාමය ම

සිහිනෙකින් හරි දකින්නේ
නිරුවත් කළ
ඇගේ
ගල් පිළිමය
දැන් දැන්
උණුවෙලා
වැගිරෙන
ඉටි පිළිමය

Wednesday, September 5, 2012

ගිනි පුපුර

ඔයා
ගිනි පුපුරක් නම්
මම
එහි ප්‍රතික්‍රියාව ගැන
නො තකමි
නරකයි කියන
හැමදේම
ඔයාගේ නමින් නම්
එහෙම කියන සමාජේට
මං
වෛර කරනවා
මොකද
ඔයා
මට
මල් වැස්සක්
කොද කුසුමක්

Sunday, September 2, 2012

අබිනික්මන

රජ මැදුර පාමුලට වී
අනවරත ලෙස සුසුම්ලන ඈ
අහස් කුස තිමිර පට බිඳ
ජීවිතාබෝධය ලදිමි මම

නිදි යහන තනියට ගෙන
අහිංසක ලෙස සිනාසෙන පුතු
විදැස් සඳ අවදි වු රැය
අබිනික්මනට පිවිසියෙමි මම

සරස සැරිසරන මඟ
අනන්ත ව පෙරුම් පිරු සිත
වෙනස්කම් නොකළ මුත් ප්‍රිය
ගිහිගෙයට සමුදුනිමි මම

Saturday, September 1, 2012

වරාංගනා

නිල්ල පිරි කඳු මුදුන් පුරා
පින්න පිපී සඳවත සරසා
සිත ගත් නුඹගේ
රුව දෙනෙතේ රැඳුණා
වරාංගනා මා මනසේ රැඳුණා

ඇන්න නුඹේ රොන් සුවඳ නුරා
එන්න මලී සිහිනය සරසා
සිප ගත් කුසුමේ
රොන් දෙතොලේ රැඳුණා
වරාංගනා මා මනසේ රැඳුණා

ඉන්න මගේ සිත් අරණ අරා
යන්න එපා සිහිනය බිඳලා
සිත ගත් මිහිරේ
මගේ සෙනෙහේ බැඳුණා
වරාංගනා මා මනසේ බැඳුණා

Wednesday, August 29, 2012

ලිහිණිය

සිල් ගත්ත මගේ හිත ම
නුඹ එක්ක ළෙන්ගතුව
කාටත් ම කලියෙන් ම
පෙම් බැඳි අරුමය

ලිහිණිය සේ ඈත
හිමිදිරිය සරසන්න
මගේ මුළු දිවිය ම
නුඹ හට උරුමය

මා එක්ක දොඩමළු ව
මුදු සුවඳ දැවටිච්ච
සරසවියේ හැම තැනම
දැන් මට මිහිරිය

Tuesday, August 28, 2012

අරුන්දතිය

නිලම්බරේ පිපි
අරුන්දතිය
සොමි කැලුම් සලන
නෙත තවන දිය ඉසින

උයන්තෙරේ පිපි
කුමුදුනිය
රොන් සුවඳ සලන
නෙත පිනන රුව මවන

යොවුන්වියේ බැඳි
පෙම්වතිය
කඳුළු බිඳු පිහින
හිත හදන බස් කියන

Sunday, August 26, 2012

ආගන්තුකයා

නිදිවරා
වනපොත් කළා
මා නුඹ පතා
මොහොතකට
සුවපත් කළා
නුඹ ඇවිල්ලා

සති කීයද ?
දින කීයද ?

නුඹ ගියා
මා හැර දමා

Friday, August 24, 2012

දමිළ පෙම්වතිය

අපරිමිත ස්නේහයෙන්
ඈ මතුළ සෙත් කවිය
දමිළ බසින් ලියන ලද
ශ්ලෝකයකි
ටටහා ගනු රිසිව
මා හදළ ඒ බස
වැදගම්මකට නැති බව ය
කාගෙත් ම අදහස

ඉදින් මම අත් හළෙමි
ඈට පෙම් කරන බව

මතකයෙන් උදුරා දැමීමි
ඈට පෙම් කළ බව

Thursday, August 23, 2012

අපේක්ෂා භංගත්වය

ගැබ හොවා
සෙ‍නෙහසින්
සොම්නසින්
විලි වැද ලද
මළ දරු උපත

Tuesday, August 21, 2012

සඳ කිරණ නම් නුඹ

සිහිනය නම් නුඹ
නිදි තනිය බිඳ එබෙන
මගේ හිත තුළට
ආදරේ සුවය ගෙන එබෙන

සඳ කිරණ නම් නුඹ
සිහිල ගෙන ඇද හැළෙන
මගේ නෙත මතට
ආදරේ සොඳුර ගෙන හැළෙන

මද පවන නම් නුඹ
රොන් සුවඳ පිස හමන
මගේ ගත දෙසට
ආදරේ මිහිර ගෙන හමන

Monday, August 20, 2012

පාලම

ඉවුරු දෙක යා කළ
පාලමෙන්
ගඟ දෙකඩ වන බව
අරුමයක් ද ?

Sunday, August 19, 2012

අප්පච්චි

අප්පච්චි නුඹට
යන්න ඇහැකි නිවනට
අපේ තනියට
පෑයු ඉරහඳ අහසට

කඳුළු බිඳු කැට
සඟවා ළය මසට
අපේ කුස තුළට
දැමූ බත් කට රසට

අප්පච්චි නුඹට
යන්න ඇහැකි නිවනට

කඳු ශිඛර උසට
පියඹා විත් ගසට
කැදැලි බැඳ හිසට
තැනූ නිවහන අපට

අප්පච්චි නුඹට
යා නොහැකි නිවන කුමට

Friday, June 29, 2012

තත්පරය

තත්පරව උන් ඔයා
මගෙන්
ඈත් වෙච්ච දවසෙ ඉඳලා

තත්පරයත්
හරියට
කල්පයක් වගේ

Wednesday, June 27, 2012

රැයේ සරතැස

රැයේ සරතැසින් දෙතොල මුදවා
උණුහුමක් සිහිලසක් නොදැනෙනා
හාදුවක් දී ඈ හැර ගියා

රැයේ කළුවරින් දෙනෙත මුදවා
හීනයක් හැබෑවක් නොපෙනෙනා
මිරිඟුවක් වී ඈ හැර ගියා

රැයේ තනිකමින් මසිත මුදවා
ප්‍රේමයක් විරහවක් නොහැ‍ගෙනා
හැඟුමක් තියා ඈ හැර ගියා

Thursday, June 21, 2012

සැළමුතු ප්‍රේමී

අහස පුරා සැරිසරන නුඹේ
සිහිල සොයා ඇ‍දෙමි ළයේ
සිහින පුරා කවි ලියන මගේ
සසර පුරා පෙම් බඳිමි ප්‍රියේ

මදහස සලනා
නිල් නෙතු සඟළෙන්
සෙනෙහස ගෙනෙනා
සැළමුතු ප්‍රේමී

සරතැස නිවනා
මල්  පෙති අතරෙන්
පෙම්රස ගෙනෙනා
මිණිමුතු පියුමි

Thursday, June 14, 2012

සිහිනය ද ඔබ

එක් රැයක දී
විඳපු
හීනය ද
නුඹ
මා
මුළා කරපු

Wednesday, June 13, 2012

සරසවිය

සංසාරේ මා ළඟින්
ඉන්නවා කිවු ඔයා
මන්දාරමේ හැංගිලා
ඇයි ගියේ තාරුකා

හන්තානේ කඳු මැදින්
වසන්තය ගෙනැවිදින්
යෞවනයේ හීනයන්
එළි කළා ආදරෙන්

මතකද එදා අපි
සිතු ලෙසේ පෙම් කළා

සරසවියේ කල් ගෙවා
වසන්තය පහු කරන්
යෞවනයේ හීනයන්
බිඳ වැටී ජීවිතෙන්

මතකද එදා අපි
දුක බෙදා වෙන් වුණා

Monday, June 11, 2012

තනුව

කවිය
අහිමි කර
ගීතයක් කළ
තනුව
නුඹ

Wednesday, June 6, 2012

මානවි

මානවි
මා හද නිම්නය අසලින් ගලනා
සුනිල නදී තෙර නුඹමැයි
මානවි

අහසේ සඳ සේ පින්සාරි
සයුරේ රළ සේ දඟකාරි

මානවි
මා හද දාහය නිවනා
සිහිල් සඳ කිරණ නුඹමැයි
මානවි

මානවි
මා නෙත කඳුළැල් නිවනා
සිහිල් දිය දහර නුඹමැයි
මානවි

Wednesday, May 30, 2012

වියපත් දෑස

තනිකඩ පැල අඳුරුයි
කුරහන් යාය ම පැසී ගොසින්
කාලය අබියස පුරන් වෙලා

එදා ලියැදි දිග
ගොයම් සුවඳ විඳ
කුරහන් මල් නෙළුවා
මතකයි තවමත්
මේ දෑසට වියපත්

එදා අහස පිරි
තරු කැන් මැද
පුන්සඳ වන් මැණිකා
මතකයි තවමත්
මේ දෑසට වියපත්

Monday, May 28, 2012

නික්ම යාම

‘‘ඔයාට මාව
එපා වෙච්ච දවසට
මාව දාලා යන්න”

ඒත්
අපේ ආදරේ
හැමදාම වගේ
ඔයා හිටියේ
මට වඩා
පියවරක් හරි
පිටිපස්සෙන්

Friday, May 25, 2012

කළු ලෑල්ල

ටියුෂන් පන්තියේ
හැම අහුමුල්ලක ම
කොල්ලො කෙල්ලො
උන් උන්ගෙ වැඩ
උන් උන්ගෙ කථා
සර් ආවා විතරයි
පන්තිය ම හ්ම්...

ඒත් අපි දෙන්නා විතරක්
තවමත්
කළු ලෑල්ල දිහා බලාගෙන ම
අකුරු අහුලනවා
වචන ගලපනවා

Tuesday, May 22, 2012

කාලෙකින් හමුවීම

හිත හිඳියි අවදියෙන්
ඔබ එතැයි අලුයමින්
නෙත හිඳියි මඟ බලන්
හමු වෙතැයි කාලෙකින්

තොල් සැලෙයි සරතැසින්
මල් පිපෙයි අත ළඟින්
සිල් බි‍දෙයි සිහිනයෙන්
නුඹ එබෙයි මදහසින්

නෙත් පියෙයි නිදිමතින්
සඳ නොයයි හිත ළඟින්
හිත හිඳියි පාළුවෙන්
ඔබ නැතැයි කාලෙකින්

Monday, May 21, 2012

සැඟවී සැඟවී

සැඟවී සැඟවී සඳ ඈත ගනඳුරක
තනිවී තනිවී මා මෑත පැල්පතක

හමුවී හමුවී සිහිනෙන් සිහිනෙක
ඇළලී ඇළලී දෙතොලක් දෙතොලක
දැවටී දැවටී සුසුමක් සුසුමක
සැනහී සැනහී මොහොතක් මොහොතක

සමුදී සමුදී හදකින් හදකට
ගොළුවී ගොළුවී තෙපුලක් තෙපුලක
නැවතී නැවතී දෙනෙතක් දෙනෙතක
සිරවී සිරවී කඳුළක් කඳුළක

Monday, May 14, 2012

වාමාංශික ප්‍රේමය

අපි කථා කළා
දහසක් දේ
මාක්ස්වාදය ගැන
ලෙනින් ට්‍රොට්ස්කි ගැන
පන්ති සටන ගැන
ධනපතියගේ සූරාකෑම ගැන

ඒ අතර
අපි ආදරේ කළා
අපේ ඇස්වලින්

අපේ ජීවිත
අපි කැප කළා
විප්ලවය වෙනුවෙන්
නො මියෙන ප්‍රේමයක්
හදවතේ හිර කර ගෙන ම

Friday, May 11, 2012

සලෙළු තොල්පත

නුරා තැවරී
සිහින් දිගැසී
සුපෙම් මදහසින්
හැඟුම් උමතු වන්නේ

පවස නොසෑහී
දුහුල ලිහී
සලෙළු තොල් පතින්
හසුන් තෙමී යන්නේ

කුසුම වැතිරී
මෙවුල ලිහී
සිනිඳු පෙති මතින්
මධුමි මුදා ලන්නේ

Thursday, May 10, 2012

පිපාසය

ඇගේ
ප්‍රථම චුම්භනයෙන්
මා ලද
පිපාසය

  ව
     ම
        ත්
නො සිඳුණු එකකි

Wednesday, May 9, 2012

කෝපි කෝප්පය

අපි දෙන්නා
එකට
බොන්න ගත්ත
කෝපි කෝප්පේ
දැන්
හොඳටෝ ම නිවිලා

Tuesday, May 1, 2012

තෙමංසල

අප තිදෙන
තනි තනිව
ගමන් කළ
මේ මාවතේ
අවසන
තෙමංසලකි
ඔබ දෙදෙන
එහි ගිමන් හැර එන්න

Monday, April 30, 2012

අයිස් කැටය

එළියේ
පුදුම රස්නයක්නේ තියෙන්නෙ
පුළුවන් නම්
මාව
ඔයාගේ අයිස් කැටේ
ඇතුළට
තුරුළු කර ගන්න

Friday, April 27, 2012

ගඟ ගලයි

ගඟ ගලයි නොනැවතී
වසන්තය පහු කරන්
නුඹ හිඳියා අත වනා
ගං මිටියාවතේ
ගඟ ගලයි නොනැවතී
නුඹ පහු කරන්

Tuesday, April 24, 2012

පෙම්පත


මා වෙත වීසි කළ
පෙම්පත
වෙන එකෙකු
අහුල ගත් හැටි

Thursday, April 19, 2012

පහන් කන්ද

මා පහන් කන්ද පාමුල
නුඹ එනතෙක්
ඈත තොටුපලෙන් නික්ම
පාරුවක නැග එන
ඒ නුඹ ද ?

කියන්න ඒ නොකී රහස
සිඹින්න මා දෙතොල් දෑල

Wednesday, April 18, 2012

සුසංගීතය

එපා නැඟ එනු ළාහිරු
මේ රැය ගෙවා
එපා බිඳලනු සැහැසි ව
මේ රැයේ අප හමුවීම

ස‍‍දේ සිසිලස
කුමුදු සුසුවඳ
සරාගී ආදරේ
සුසංයෝගය මේ රැයේ

විහඟ ගී සර
අනඟ හී සර
සරාගී ආදරේ
සුසංගීතය මේ රැයේ

Wednesday, April 11, 2012

ලබ් ඩබ්

         ඩබ්           ඩබ්         ඩබ්
ලබ්          ලබ්          ලබ්

අහෝ !

හදවතේ රිද්මය ද
ඇයට අවතන හැටි

සඳ මිටියාවත

සඳ මිටියාවත සොයා
තරු දහසක් මැදින්
මම ආවෙමි නුඹව සොයා
සඳ එළිය වැටී
හරි සොඳුරුයි මේ ජීවිතේ

රෑ අඳුර නිවා
සඳ නැ‍‍‍ගෙන තුරා
මම උන්නෙමි දෙනෙත් යොමා

තරු සිනහා සලා
නිල් අහස පුරා
මම උන්නෙමි දෙනෙත් පියා

නුඹ එනතුරා

මම ප්‍රේමාතුර ව හිඳිමි
නුඹ එන තුරා
පාළුව රැඳි සීතල රැයේ
උණුහුමක් වී නුඹ එන තුරා

තරු කැන් වෑහෙන
සැඳෑ අහස යට
දෑත දෙතොල පැටලී
සෙනෙහස තවරන
පෙරුම් මල් පිපුණු හද ගොමුවේ

මල් රොන් වෑහෙන
තුරු සෙවන යට
ළැමට මැදි ව තුරුළු ව
සෙනෙහස කොඳුරන
සිහින මල් හැලුණු නිදි යහනේ