Thursday, September 19, 2013

නවාතැනක් නැත

මධුවිත බඳුනක මිහිරට වහල් ව
මේ දිවි ගමන ම ගත වී යයි
දහසක් තැන්වල සක්මන් කළමුත්
සිත් සේ වසනට නවාතැනක් නැත

අන්ධකාරයෙන් පිය වී ගිය නෙත්
කණාමැදිරි එළි දහසක පැටලෙයි
මනසින් උමතු ව සඳකැන් විඳිමුත්
නිහඬ ව කරු කැට සැඟ වී ඇත

ගිම්හානයෙන් පර වී ගිය මල්
දිය සිඳුණු තුරු පතරක මියැදෙයි
සිහිනෙන් අවදි ව විමසනමුත්
වස්සාන පෙම අහිමි ව ඇත

Sunday, September 15, 2013

රහස

රෝස මලක්
තුරුළු කර ගෙන
දවසක්
මා වෙතට
ඇවිදින්
කඳුළු පිරි
දෙනෙතින්
කොඳුළ ඒ රහස
ඔබට පවසනු කෙලෙස

එ දවස

මම ඉඩ දුනිමි
ඇයට
උර තලය මත
හිස හොවා
සැනසෙන්න

එ පමණක් නො ව

සැනසුම් වදන්
දිවුරුම් ලෙසින්
මා මුව අගින්
ගිලිහී ගියෙන්

රෝස මල
මගෙ ම විය

මෙ දවස

නිර්දය ලෙස
මම ඇයට
දමා ගැසුවෙමි
රළු වදන් පෙළ

“ඔය රෝස මල
මගෙ නෙවෙයි නෙ

ඉනික්බිති
එතෙක් මතකයන් සිර කර
බැඳ තැබුණ
සෙනෙහස් පවුර
බිඳ වැටිණ

එහෙත් තවමත්
සඟවමි ඔබෙන්

ඒ රහස

Sunday, September 1, 2013

ආදරයේ ගිම්හානය

මටත් අවශ්‍ය යි
නිදහස සොයා යන්න
සම්ප්‍රදාය බිඳ ගත්
නො හික්මුණු
හිපි රැලක් එක්ක

මධුවිතින්
සප්පායම් ව
සත්සරින්
කුල්මත් ව
රමණයෙන්
මුසපත් ව
ජීවිතය
ආස්වාදනය කරන්න

සංස්කෘතික සාගරයෙන්
සදාචාර බැම්මෙන්
එහා කොදෙව්වක
ගිමන් හැර එන්න
මටත් අවශ්‍ය යි

එහෙත්
ආදරයේ ගිම්හානය
මගෙන් ඈතයි