Thursday, July 21, 2022

බිරිඳ

තෙහෙට්ටුව ඇස් දෙකට හිර කර බස් රියේ අසුනකට වී
කල්පනාවක හිටියෙ මං ඇය ළඟට විත් පමාදැයි අහද්දී
මඳ සිනහවක් මවා ගත්තෙමි මම අසුන කෙළවර ඈට දී
නිදහසට තතු කියයි ඈ දැන් මුව දෙනක ලෙස තුරුළු වී

කාලෙකින් අපට මහගෙදර යන්නත් බැරි වුණානේ සිරී
අම්මා අප්පච්චිත් මඟ බලන් ඇති දැකගන්න ඈ කියද්දී
ඵහෙ ම නම් මේ සති අන්තයේ ගමට යමු නගරෙන් මිදී
මගේ බස ඇසී ඕ ඉගිල්ලෙන්නට හදයි කිරිල්ලියක සේ

පුතත් දැන් පාළුවෙන් ඇති ගෙදරට වෙලා පන්තිය ඇරී
නංගියෙක් මල්ලියෙක් වත් හිටිය නම් සෙල්ලම් කරද්දී
ඵහෙම නම් තව පැටියෙක් හදමු අපි කැමති ද මං අහද්දී
තාම මනමාල හිත වෙනස් නැති බව ඈ කියයි කෝල වී

මාසේ පඩිපත අහවරය ගෙට ගත්ත බැංකු ණයටම කැපී
අනෙක් වියදම් සියල්ල ම කැපේ ඇගේ පඩියට හිලව් වී
උදව් වෙමින් උහුලන්න මහ බර පිරිමියකු උර මත වැටී
සිහින ලෝකයක නො වේ ඇය මහ පොළොව මත හිඳී

සංසාරයේ හුරුපුරුදු ලෙස අපි පෙමින් බැඳී ඵනවා ඇති
දුකේ දිත් සැපේ දිත් ළඟින් ඉන්නවා මං සත්ත ම යි සිරී
දයාබර ගැහැනියකි ඈ නම් උතුම් ගතිගුණ වලින් හෙබි
ඇගේ වදනකින් ජීවිතයේ කටුකත්වය යයි ඉවතට ඇදී

කුඩා ගස්වල පැතුම

කුඩා ගස් වූ අප
අතු රිකිලි මත
පූදිනා මල්
ඵල දරනු ඇති
දිනක

ඉනික්බිති ඒ ඵල
මහා තුරු විලස
වැඩී අප පසු කර
මහා ඵල බෙදනු ඇත
ලොවට

පින් කර ඇති කඳුළු

ඇගේ ඇස අග තනි මකන්නට
සිනාසෙන කඳුළු බිඳු එක දෙක
බොහෝ කල් පින් කරන්නට ඇති
සැනසුමක් වන්න ඉඳහිට හරි

වැහිලිහිණියෝ ඉගිලෙන්න

වසත් ඍතුව එන්න නියමිත වන බැවින්
අහස සරසමි කලු වලාවන් කිහිපෙකින්
කඳුළු පොද එක දෙක ගිලිහෙන බැවින්
වැහිලිහිණියෝ ඉගිලෙන්න දැන් ඉතින්

වටිනා ම දෑ මතක් කර රැගෙන යනු එහි
අහසකින් එකතු කරගත් සඳකැන් පොදි
අමතක යමක් වෙතොත් ගෙන යා හැකි
මං ලකුණු බොහෝ වෙයි ඉතිරි වී මෙහි

ළපටි කොඳ මල් තව පිපෙන්නට ඉඩ දී
වැව් අමුණු පුරවන්න ගම්බිම් ඉහළට වී
මහපොළොව මගබලන් වැළඳගනු රිසි
සිව් වසක ගිමන් හැර නික්මෙන්න සකි

හිස්කම

මහවිසල්
අහසට වුව
හිස්කමක්
කියන්නේ
උරුමයක්

පුරහඳ

ගනඳුර
නිදියන
රැයක
පුරහඳට
අයිතිය
අහස

පොහොර

බොහෝ මව්ගස්
මිය ගොස් ය
ළපටි ගස් වෙත
පොහොර වනු වස්

නිහඬ බව

මේ ලෝකෙ
දුෂ්කර ම තැන
නිහඬ බව

පුදුමයි
එක දවසක මම
තව දවසක ඇය

ගෙඹි පැටියෙක් අසයි

ඇඳ යට සිට ඉඳහිට
ගෙඹි පැටියෙක් අසයි
කවු‌‌ළුවෙන් එපිට හිඳ
අඬගසන්නේ මට
අම්මා නො වෙ ද

නිවන තැන

හිත නිවන තැන
ඔබ දකිමි මම

දියකඩිති

නිසසල
වනවදුලු මැද ය
සුපැහැදිලි
දියකඩිති ඇත්තේ

තරු රැසක දීප්තිය

තරු රැසක දීප්තිය
නුඹේ ඇසින් දිස් වීම
මොන තරම් අපූරු ද

අප්පච්චි ල දෙන්නෙක්

අපි හැමෝටම
අප්පච්චි ල දෙන්නෙක් ඉන්නවා

සම්මාන දිනපු
එයාගේ එක පොතක
එහෙම තියෙනවා
මං දැක්කෙ
අහම්බෙන් වගෙ

ඒත් එයා
අපි ආදරය කරන කාලෙවත්
එහෙම දෙයක්
මං එක්ක කියල නැහැ

එයාට කොහෙන් ද
අප්පච්චි ල දෙන්නක්
හිටපු එක ම අප්පච්චිත්
අපි බැඳලා ටික දවසක්
ලෙඩ ඇඳෙ ඉඳලා
මැරිලා ගිය කොට

අඬදබර

වළාකුලු දෙකක්
ඉඳහිට
ගැටෙයි

අකුණක් දෙකක්
පොළොවට
පාත් වෙයි

සෙවනැලි මතක

අලුයමේ හිත පිපෙන පිනි
සියුමැලි මලක තවරමි
මදඅඳුර හැර යන සඳ මත
සෙවනැලි මතක අලවමි

දිගු නිහැඬියාව

ඉතා ම සුවපහසු නින්දකින් පසු ව වුව
බොහෝ කලබලයෙන් මෙන් ඔබ ඇහැ ඇරී නැත

එහෙත් දිගු නිහැඬියාවකි හාත්පස පරිසරය

ලා කොළ පැහැති තුරු ගොමු අතර
ඔබට නො ඇසේ ද කුරුලු කිචිබිචිය
පාන්දර ඇහැර ගෙන උන් මිහිරි ලෙස
කුමක් ගැන මේ තරම් දොඩමලු වන්නේ ද?

ඔබ කෙසේ නම් එය දන්නේ ද?

ලෑලි ඇතිරූ කුඩා සයනයක කම්මැලි ව
ඒ අතට මේ අතට ඔබ පෙරළේ තව ම
පමා වී පැමිණෙන උදයක නො දැක ලා හිරු
බොහෝ නිදිවැරූ රැයක් ඔබෙන් නික්ම යයි

දැන් නිහැඬියාව පෙරළෙයි මහා ඝෝෂාවකට

ඔබ ඇහැ ඇරෙයි
මා මිය යයි
එක්වර

රතු රෝස මල් පඳුර

ඔබ තෑගි කළ රතු රෝස මල් පඳුර
ආදරෙන් හිනා වෙනවා තාම මං එක්ක
අතරින් පතර කටු අමෝරා ගත් නටු
බලන් ඉන්නවා ළඟට එනකම් රිද්දන්න

කවි ලියන විට එක මලක් පුරුද්දට
මා දෙසට හැරෙනවා හාද්දක් ඉල්ලගෙන
මල් පෙති දෙකකට වහන් වුණ ඇස්
හෙමින් පියවෙනවා කම්මුල් නොදකින්න

අඳුර වැටුණ ම කවුළුවෙන් එපිට සිට
මල් පඳුර ඉසිනවා රෝස සුවඳක් සුළඟට
කවුළු දොර ඇර ඉන් එක සුළං අහුරක්
හොරෙන් කැඳවනවා කාටවත් නොදැනෙන්න

ඉතා දිගු විරාමයක් මැද

හුස්මක් වුව ගනිමි සැකයෙන්
කිවිසුමක් යන විට සැඟවෙමි
ඉඳහිට ගෙල මත අත තබා බලමි
ඔබ තියා ඇද්දයි උණුහුමක්

සැලෙමි බියවෙමි ඇහැරෙමි
සාලයට පැන ගමි

හතරැස් කොටුවකින්
වෙනත් ලෝකයකට
බිරිඳ ගෙන පැන යමි
සිංහල හින්දි දමිළ ඉංග්‍රීසි
සිනමා රසික මම ඇය

අතරින් පතර ප්‍රවෘත්ති විමසමි
ප්‍රස්තාරයක ඔබ ඉහළ පහළ
යන අයුරු බලමි සසඳමි

නැගිටිමි කමි බොමි
ඔබ ළඟ වත් දැයි හැරී බලමි
අත හෝදමි

නවකතාවක් පරිවර්තනයක්
පත්තරයක් කොළ කෑල්ලක් හරි
අතට ගෙන පුටුවක හරිබැරි ගැහෙමි
දුරකතනය ඔබමි
චූන් පාන් නළා හඬ ඇසෙන විට
දිව යමි බලමි රැවටෙමි

කෑම ලෑල්ලට එන කුරුල්ලන්
උන්ගෙ කිචිබිචිය මද සුළඟ
ගහකොළ විඳිමි
ළබැඳියන් සිහිකරමි

අලුත එන ළපැටි පැළ අමතමි
ඔබ ඉක්මනින් යනු ඇතැ යි පතමි

තණ ගසක ළදැල්ල

වැහි වැටෙන විට හවසට
උඩුකුරු ව හිනාවෙන
ගස් අගිස්සක පිපුණ
මල් පොකුරක එක මලකි
මම

වතුර කැට එක දෙක එකට
පීල්ලක ඇවිත් අවසන
බඳුනකට එකතු වුණ
ජල කඳක එක බිඳකි
මම

උදලු ගෑ පසු සැඟව සිට
හුස්මක් දෙකක් අරගෙන
බිම් කඩින් මතු වුණ
තණ ගසක ළදැල්ලකි
මම

මහපොළොව

මහපොළොව බදා ගෙන
එක මොහොතකට හරි
දුකසැප අහන එක
කොයි තරම් නම් සැනසුමක් ද
ඇයට

අතුපතර මල්ඵල
දරා ගත නොහැකි
මහ ගසක් යට හිඳ
ගස හෙළන
සුසුම් සුළඟකට
කන් දෙමු

ඒ තුර දරාගත් විඩාබර
සිඳෙන තුරු

තරුපොකුරු විසිරුණ
සරා සඳ අහිමි
විසල් අහසක් දෙස
බලා ගෙන ඉමු

දුක හිතුණ දවසට
වැස්සක් වෙලා
වැටෙන හැටි ඇය

ඉන්පසු ව
හිනාවෙනවා
ඇය

සුදු රෙදි සහ කහ සිවුරු

ලා කොළ පැහැති
වෙල් යාය මැද
කොක්කු රෑනක්
එක පෙළට සීරුවට

වෙල් යාය කෙළවර
දිරා ගිය මියගිය
පුවක් ගස් අග්ගිස්සක
කහ කුරුල්ලෙක්

බිම තිබී
මුණගැසිණ
පිහාටුවක්
සුදු රෙදි හොරෙක්
දමා ගොස් තිබු

සුදු රෙදි සහ කහ සිවුරු

රළ

මහ මුහුදක වුණත්
වඩාත් කලබල

'රළ'

රළ පෙණ කැටි වගේ
රළු නැහැ
හැබැයි කලබල යි

ඇහෙනව ද ඔයාට
රළු ඝෝෂාව

මට ඕන වුණේ
කලබල නැති
වෙරළක්

රළ නොනගින
ගොළු මුහුදක වගේ

ස්ත්‍රිවාදි නිදහස්කාමි ගැහැනිය

වයින් වීදුරුවක් ඇඟිලිතර රැඳුණ
ඇගේ සුළැඟිල්ලක තනි මුදුවකි
සිරුරටම ඇළලී තිබුණ
දුහුල් ලාරතු කෙටි ගවුමකි
ඉස්තරම් සුරුට්ටුවකින්
දෙතොලතරින් මිදුණ
දුම් වලාවක් මැද නිතර
බරසාර කතාවක නිරත වන

ස්ත්‍රිවාදි
නිදහස්කාමි
ගැහැනිය

අනෙක් අය
ඇය ව
වටහා ගත්තේ
එලෙස ය

ඇයට ආදරය කළ අය
ඇය වටා ආදරය කළා
ඇය නුදුටු ආදරයක
ඇය නැති ව තනි වුණා

නුතනවාදය එතැනින් එහාට
අන්තවාදය කොතැනින් කොහාට
වාමාංශය ය සාරාංශය හැම විට
ඇය කතා කළේ ඒ දේවල් ය

උදෑසන ඇය කිසිදික දැක නැත
රාත්‍රිය බොහෝ දිග ය ඇයට
පොත්පත් කියවන එක
සිනමාපට නරඹන එක
විනෝදෙකි ඇයට
එහෙත් එවන් බොහෝ කලාකෘති
දුරවබෝධ ය බොහෝ දෙනකුට
සංවාද විසංවාද මැද
ඇතැම් විට රැය පහන් වීම ම
සිහිනයකි

ඇය වටා ඇතැම් අය විවාහක වූ අය
නැතිනම් ප්‍රේමයක ඇළලුණ අය
ප්‍රේමයක් විමසන අය

ඒ අතර තවත් අය
ඇයට ප්‍රේම කළ අය
නැතිනම්
ඇය සමග ප්‍රේමයක ඇළලුණ අය

එසේත් නැතිනම්

ඇයට
මගහැරෙන
මගහැරුණ
මගහළ

ඇය මගහරින

ප්‍රේමය

විමසන අය

ප්‍රේමයේ අසෙනි වැසි

ප්‍රේමයේ අසෙනි වැසි වැටෙන
රාත්‍රියක කවුළු දොර හැර තබමි
සීත මීදුම් සළු අතර ලිහෙන
සිනිඳු පිනි බිඳු කොපුල සිප ගමි

පිටමං කිරීම

දහසක් දෙපා
පහසක් නො ලද ව
තනිකම තනියම හුරු වුණා

දහසක් කතා
තහනම් නො කිය ම
මුවදොර මුනිවත පළ කළා

දවසක් පුරා
හිඩැසක් නො තිය ම
මිනිසෙක් මිනිසකු හමු වුණා

නුවරක් වසා
පිටමං නො කර ම
දුරකට දුවයනු ඉඟි කළා

කුණාටුවකට පසු ව

කුණාටුවකට පසු ව
ලා නිල් පැහැය ගත්
සෙනෙහස් අහස යට
තනි වෙමි

හාත්පස තුරුපැහැය හා
අනාරාධිත ව වුව
පෙමින් වෙළෙමි
නිරහංකාර මද සුළඟ
තදින් වැළඳගමි

අතරින් පතර ඇවිත් යන
සබකෝල කුඩා පිනි බිඳු
තොල් යුවළ මැද තියා ගමි

කුරුලු කිචිබිචි වෙත
කන් යොමා ඉමි
ඉදුණු පලතුරක්
උන් සමග මිතුරු ව
බෙදා ගෙන කමි

ඈත දුරකට විහිදෙන
වෙල් යාය දැක පුදුම වෙමි
තිස් වසට එකක් අඩුවෙන්
නතර වී මා දෙස බලමි

කොක්කු රෑනක් අතර
නිශ්චල ව එකෙක්
මා දෙස බලයි

මම
මා දෙස බලමි

හමුවීම, මගහැරීම සහ නික්ම යාම

පෙති පහක් මලක ඇති
පිපී මොහොතකට පසු
එක් ව දැනහඳුන ගත්තා
හිනැහෙමින් වැළඳ ගෙන

එ සමය වස්සානය ය
පෙති පහ ම එක වාගේ ය
පැහැය හැඩය සුවඳ බොහෝ දේ
ඒත් ඒ බාහිරට පෙනෙන දේ

පෙති පහ එකිනෙක වෙනස් ය
දිග පළල ඝනකම බොහෝ දේ
සමීපයට ඇවිත් බලන විට
ගොඩක් තැන් වෙනස් වී පෙනේ

වස්සානය අවසන් වන සමය ය
පෙති පහෙන් පෙති දෙකක්
මලානික වී හැළී යන්නට
බොහෝ ආසන්න ව ය

ඉතිරි පෙති මත ඉහුණු කඳුළකි
එක මලක වුව පෙතිවල
ආයු කාලය වෙනස් වන බව
වටහ ගෙන නැහැ ඒ අය

පෙති දෙකක් මගහැරුණු මලක්
දුක්බර ව බොහෝ කල් ගෙවා
ගිම්හාන කාලයක අතරමග වියැළී
නටු අගින් ගිලිහුණි පෙති සමග

ආයු කාලය

දීප්තිය දෙන
විදුලි බුබුළකට වුව
ආයු කාලයක් අැත

සිත්තර සහායක

ඔහු
ඉතා කඩවසම්
සිත්තෙරක්

ඔබ වගේ නෙවෙයි
සන්සුන් මනසක් සහිත මිනිසෙක්

මුළු සිරුර ම
ඔහු අබිමුව නිරාවරණය කළා වුව
ඔහු තුළ නොවිණ කිසි වෙනසක්

රාගි නෙතක් ඉඟියක් අඩවන් බැල්මක්
මම හොරැහින් විමසුවෙමි
එහෙත් එවැනි කිසි සලකුණක් හෝ
ඔහු තුළ නොවිණ

ඔහු රාගය සන්සිඳවු
‍උත්තම මිනිසෙක් ද
නැතහොත්
අත්තකිලමථානු
යෝගියෙක් ද

අවසන් විරාමයේ...

සිත්තර සහායක
ඔහු අත රැදුණ පින්සල
මෘදු ව පිරිමැද ගෙන
ළබැඳි සිනහවක් හෙළනු දුටිමි

කැඳවීමක්

කහ පැහැය හිත නිවන
පුරව ගත් මල් දහස
වඩා ගෙන ඇය කුසයේ
ඇවිත් එහි යන මෙන්
කරයි ආරාධනය

අතරින් පෙනෙන වලාකුළු
අහුර ගත් නිල් අහස
වසා ගෙන මෙහි පැමි⁣ණේ
විහඟ කැල ළඟ ම බව
ගෙනෙයි පණිවිඩය

බිම හැලුණ පෙති අතර
මතක තැන් ලිහී ගිය
හිනා සර මැද පිබිදේ
පොත් පිරුණ ගමන් මලු
ගාල්වෙයි පුරුදු ලෙස

ඉඩෝරය හැර යන කල
දුකඳුළු ද ගෙන යාවි දුර
වසන්තය උදා වී එන්නේ
තනියට ළඟ හිඳින් කිසිවකු
දිගා හැරි කල කුඩය

සුරංගනාවියකට පෙරමග

සිහින සමුදුර සැරිසරන මීන ඇස්
රෝස මල් පෙති වාගේ කම්මුල්
හාදු දෙන ඇසිල්ලට
මව්ගැබක හිඳ සඳ පාන හිනැහේ

මෘදු මොළොක් කිතියකින් ගැස්සී
හිරිවැටෙන ළය පාමුලට කන් දී
සිහින් ලෙස පිරිමැද ඉතින්
සෙත්කවක පද මුමුණමු ද සොඳුරේ

පෙර දින රැය

සොඳුර
මෙි අප දෙපල තනි ව
ගත කරන
මනරම් ම රාත්‍රීන්ගෙන් එකකි

මනිදන අසුනට යාබද ව
නුඹ හිදී සයනයක සැතපී
උස් වූ ගැබට එපිටින්
නුඹේ මුහුණත සියුම් ඉන්දිත
මවා ගමි මම

විසල් කවුළුවකට එපිට
දුරට විහිදුණ තරු පොකුරු
සඳක අබිසෙස් දකිනු රිසි
අඟුල්මල් පිරිත් මුමුණන නුඹ
සෙත් කවක් පබඳින මම

සොඳුර
මේ දිගු රැය ඉක්ම ගොස්
උදා වන හෙට
සුන්දර ම දවසක් ය මේ ලොව

නේත්‍රා පියාපත් යුවළ

ඉතිරි වුණු සුන්බුන් අතර
තිබී හමු වුණ යමක් ඇත
ආලයෙන් එහි බැඳී පිය වුණ
නේත්‍රා පියාපත් යුවළක්

සමබිමක හමුවීම

දශකයක මෙපිට දහතුන් වස සපිර
එහි ගියෙමි මම වසන්තයක අබිමුව
හුස්ම පිඹ පිඹ ජීවිතය දුන් තැන
අදත් එහි එම සුසුවඳ විඳිමි මම
 
නෙක මල් ලිහී ගිය වීදි දිග
සකුණ මියැසියකි අරුමැසි
උකුසු ඇස් මග හැර ඉගිල
පලා ගිය කලකි ප්‍රථම වස

ළය බැඳුණ ඇසුරකට සමවැද
සමබිමක හමු විය දෙවැනි වස
සියපත් පිපුණ විල්දියක තෙත
ඇහැට හුරු කළ මතකයක ඇරඹුම

තුන් වසක් වන විට මුහුකුරා ගිය
සබඳකම් විය අප අතර අප ම වුණ
සිව්දිග හමන නිදහස් සුළඟ ලෙස
ආගිය තැන් අදත් සිතියම් ව ඇත

ගමනක් නිමා වී යා යුතු බව කියන
කවියක විය එක පෙළක් මහ නපුරු
සිව්වසක කෙළවරට විත් නැවති
ඉතිරි වුණ හිතක් ඇත පණ පිඹින

අරගල බිමක හමුවුණ අම්මා

අරගල බිමක හමුවුණ අම්මා
දරු දුක උහුලනු බැරි පෙම්මා
මවුරට මළගමට පෙර නම්මා
හිත පහදවන සටනට සම්මා

වෙදැදුර දියණිය

කහ පැහැ යදම් බිඳ සිහිනයක එල්බී
අරගල බිමට රතුරෝස අරන් එන්නේ
නිලදරු පසෙක සංවේගයෙන් දැල්වී
වෙදැදුර දියණියක ආදර සිත හමු වේ

කිරි රුහිරු

අරගල බිම සැරිසරන මියුලැසි පොකුරු
දුකඳුළු ඇස නලියන සුසිනිඳු ගල්පතුරු
මව්වත් ගුණෙන් උතුරා යන කිරි රුහිරු
මහ මුහුදක් වෙලා ගොඩ එනවා සිකුරු

සිහ ධජ

සඟවා ගනිමි දුක කඳුළැලි නෙතු පිරෙන
ඔසවා ගනිමි පුත සිහ ධජ අත දරන
නොලසා රැඳෙමි අරගල බිම මවු රකින
දිවුරා කියමි සුබ බව නව ලොව දිනන

සුර දූතයෙක්

පිපාසිත ව වියැළුණ ගොර හඬින් හඬන
ලේනහර සිඳී ගිය බොර ඇසක් දකිමි
පියාපත් හැළී ගිය සුර දූතයෙක් ළය බැඳ
පාපයට පිට දෙන මිනිසුන් වැළඳ ගමි

කඳුළු සුසුම

තදින් වැළඳ ගෙන ගිය හැම විට ම
ඉතිරි කර ගිය කඳුළු සුසුමක් ඇත

පෙකිණි වැල කපා තුරුළට

අරන් ටිකෙන් ටික
මලක් මෙන් පිරිපුන් වෙන හැටි
බලා බිය වෙමි නුඹ දිහා

මුසාවක් නිසා මවුකුස
ගැබ්ගත් පවුකාර දියණි
මුලාවක් නොවී වලාවක
පාව යනු දැන් සිත් සේ

ඔව්
පවුකාර දේශයෙන්
ඉගිළ යනු දෝණි