Tuesday, December 25, 2012

එක දවසක්

පියුමි මගෙන් ඈතට යද්දි
තනියට මං ළඟට ආවෙ සඳුනි

‘නිශාන්ත ඔයා අද හැන්ඩ්සම්’

එයා කථාවට මුල පිරුවා

ජීවා...
ප්‍රේම්...
ඒ දෙන්නා ගැන ගොඩක් දේවල්
අපි කථා කළා

ඒත් හිටි ගමන්
එයා කිව්වා

‘හිරුණ එන්න කලින් ඔයා යන්න’

මං කැලුම්ගෙන් දැන ගත්තෙ
එයා අරුණත් එක්ක ආපු
හිරුණට හිත දීලා කියලා

Sunday, December 16, 2012

පුංචි මධුමතී

සියුමැල්ලෙන්
මධු ඩැහැගත් බඹරුන්
හසරැල්ලෙන්
හිත් රැවටු අනඟුන්

සිහිලැල්ලෙන්
තොල් පිනවූ කිඳුරන්
කඳුළැල්ලෙන්
නෙත් රිදවූ සලෙළුන්

වස්සානෙන්
පෙති ගිලිහී ගියතැන්
දිවි ළැහැබෙන්
මිලිනව යන පියුමන්

Tuesday, December 11, 2012

මහණ දම

පන්සල් වත්තේ කොලු ගැටයින්ගේ විසේ
දකිනා විටදී පොඩි සාධුගේ හිත ගැස්සේ
නැටුමට ගැයුමට කෙළියට ආසා වයසේ
හැඬුවා සිහිව අම්මා හොඳටම රහසේ

ලොකු සාධුගේ බණ පද සිහි වී ආයේ
හිත නිවෙනවා පොඩි සාධුගේ කෙළි වයසේ
බුදු සාධුගේ රූපය යට පිදු මල් අහුරේ
හිත පිරෙනවා පොඩි සාධුගේ මල් සුවඳේ

කහ සිවුරේ කහ පාටට නිවන හැඩයි
වැලි මළුවේ වැලි ගානට සසර දිගයි
බෝ කොළයේ සිලි සිලියට සවන පිනෙයි
සංසාරයේ නැවතුම් පළ මහණ දමයි

Saturday, December 8, 2012

ප්‍රථම විරහව

සිහිවටන පොදි බැඳ
සමු ගතිමු
ප්‍රථම ආදරයෙන්
දෑස් පමණක් දෙඩූ
කතා බහ නතර කර
යළි හමු නොවන බව
දිවුරමින්

මැදියමක
ගන නිල් අහස වසා
ළං නොවන මායිමක
නැවතිලා
තනි තරුවක්ව
පායා හිදින්නෙමි
දිවි ඇති තුරා