Wednesday, October 31, 2012

අගුළ

අගුළු දමා
දොර වසා ඇත
කිසිවෙකුට
ඇතුළු විය නොහැකි ලෙස
පලක් නැහැ
තවදුරටත්
දොරට තට්ටු කිරීම

Friday, October 26, 2012

කිරිකඩ සේලය

හදේ පිපුණු පෙම් මල පුද දීලා
නුඹේ දෝණි මා කැන්දාගෙන යන්නේ
සඳසාවිය නුඹේ රැකගමි සැමදා
කිරිකඩ සේලය පිළිගනු මැන අම්මේ

ස‍දේ හැදුණ සඳසාවිය නැළවී
නොරිදන බව මා දිවුරා පවසන්නේ
මනමාලිය මගේ සනසමි සැමදා
කිරිකඩ සේලය පිළිගනු මැන අම්මේ

විලේ පිපුණු පියුමිය නෙළාන
පියඹන බඹරකු ලෙස නොසිතන්නේ
නුඹේ ම පුතු ලෙස සලකා මා
කිරිකඩ සේලය පිළිගනු මැන අම්මේ

Thursday, October 25, 2012

කඩදාසි බෝට්ටු

ඈට කවි ලියද්දි
අහක දාන කඩදාසිවලින්
පොඩි කොල්ලෙක්
බෝට්ටු හදන හැටි
මං ආසාවෙන් බලා උන්නා

මල්මිට

මල්මිටක් අරන්
හෙටත් එනවද
වෙහෙර දොරකඩ‍ට
මිලට ගන්න

Wednesday, October 24, 2012

කවදාක හෝ

ඇහිපිය සල සලා
ඔබ ගැන හිත හිතා
රැය පහන් වන තුරා
නෙතු හිඳි මඟ බලා

වස්සානේ වැහි සලා
හදවතේ ගිම් නිවා
කවදාක හෝ ඔයා
එනවාද මා සොයා

වස්සානේ මල් පිපී
හදවතට සුවඳ දී
කවදාක හෝ ඔයා
එනවාද මා සොයා

Monday, October 22, 2012

අම්මා

දිගක් නැහැ
පළලක් නැහැ
උසක් නැහැ
පරිමාවක් නැහැ


Friday, October 19, 2012

දිගු රාත්‍රිය

මහත්තයො
මෙච්චර කල්
මට දැනුනේ
මගේ ජීවිතය
කළුවර රාත්‍රියක් කියලා
ඒක කවදාවත් ම
ඉවර වෙන්නෙ නැති
අන්ධකාරය විතරක් ම
පුරව ගත්ත
අමාවක රාත්‍රියක් කියලා

ඒ රාත්‍රිය අහවර වෙලා
හිරු රැස් වැටේවි
මල්පෙති දිග හැරේවි කියලා
බලාපොරොත්තුවක්
මට තිබුනෙ නැහැ
මහත්තයො

මගේ තනියට උන්න
මේ යහන කියාවි
මේ රාත්‍රිය පුරාවට ම
මං මගේ යහන
කාත් එක්කවත් ම
බෙදා ගත්තෙ නැහැ කියලා

ඒත් අද
පළවෙනි වතාවට
හදවතේ නහරවලට
ලේ කාන්දු වෙන රිද්මය
මට ඇහුනා

මහත්තයා දැන් යන්න
එළිය වැටිලා හොඳට ම
තරහ වෙන්න එපා
මට සල්ලි එපා මහත්තයො
මට මගේ ශරීරයට
මිලක් නියම කරන්න පුළුවන්
ඒත්...

Wednesday, October 17, 2012

කුරුලු ජෝඩුව

ඇගේ කූඩුවේ
පරිස්සමට උන්
කුරුලු ජෝඩුව
ඈටත් හොරා
ඉන් මිදී
ඉගිල ඇවිත්
මගේ
යට කලිසමේ
සාක්කුවට
රිංග ගත්ත හැටි

Saturday, October 13, 2012

විශාදය

මට තනිවෙන්න ඕන
එච්චරයි
උඹලා
හිතනවා වගේ
මට ඇති
මොලේ අමාරුවක් නැහැ

Friday, October 12, 2012

කපුරු මල

සීතලට කපුරු මල්පෙති හැකිළී යනවා
හීනියට වැහි බිඳු එක දෙක රූරනවා
රාත්‍රියට නුඹ මගෙ හිත වෙත ගාටනවා
යාන්තමට වගේ ඇස් දෙක පියවෙනවා

මීදුමට සඳ රැස් පෙළ මුහවෙනවා
කාන්තියට ගන අඳුර පැන යනවා
හාන්සියට නුඹෙ ළැම වෙත බර වෙනවා
කාන්දමට වගේ මගෙ හිත ඇළවෙනවා

පාන්දරට වැඩ බිම වෙත යනවා
රාස්සියට කරවී මුළු ඇඟ කකියනවා
කාන්සියට නුඹ ඇඟපත මිරිකනවා
චීත්තයට පෙරවී මං නිදියනවා

Monday, October 8, 2012

කෞමදිය

ජීවිතයේ සොඳුරු ම දින
ඔබ ඇසුරෙහි ගත කෙරුවෙමි
සීගිරියේ අප්සරාව හා
සුයාමයට ගොඩ වැදුණෙමි

ජීවිතයේ මිහිරි ම පැය
ඔබ සිරුරෙහි සැරි සැරුවෙමි
හිමාලයේ නාරි පියුම පෑ
සුගන්ධයට සම වැදුණෙමි

ජීවිතයේ තනිකඩ කම
ඔබ දෙතොලෙහි දිය කෙරුවෙමි
කෞමදියේ මුවරඳ වෑහි
සුරාන්තයට පිය නැඟුවෙමි

Sunday, October 7, 2012

මෝසම් වැස්ස

මෝසම් වැස්ස එනකන්
මං බලං උන්නා
ගොයම වපුරන්න

මෝසම් වැස්ස
එන්න එන්න ම
දැඩි වුණා
ලියැදි කඩා ගෙන
වැහි වතුර
ගොඩ ගැලුවා

ආ‍යේ නෑවිත් ඉන්න
මෝසම් වැස්ස
ඉවස ගන්නං මං
පෑවිල්ල

Saturday, October 6, 2012

ආයාචනය

සඳ
නුඹ
ඉවත් වන්න
මට
අවශ්‍ය යි
කළුවර
විඳින්න

Friday, October 5, 2012

සුළඟ

මගේ අවසන් සුසුම
මුහු වුණ
සුළං පොද
කෙදිනක හෝ
නුඹට මුණ ගැසේවි
ආගන්තුකව හෝ

Thursday, October 4, 2012

කාලයේ වැලි තලාව

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය
ආදරේ මතක වත තුළට වී
මීදුමෙන් වැසී ගිය මාවත ඇවිදමින්
ජීවිතේ වසත් කල ගත වී යාදෙන්

පාළුවේ වැහි වලාවෙන් බර වු
රාත්‍රියේ ගන අඳුර තුළට වී
සීතලේ ගැහී ගුලි උණුසුම් අයදිමින්
නෙතු පියන් තෙමන කඳුළ තනි මකපන්

යෞවනේ මුදු ආශාවන් කැටි වු
හදවතේ පෙම් මැදුර තුළට වී
මීවිතෙන් තවා හිත සොම්නස පුරවමින්
තොල් පියන් නිවන පහස නුඹ වෙයන්

ආරාධනාව

දෙබෑ කරනු
එක පහරින්
හෘද කුටීරය
උනා දමනු
එහි වු
නහර
මස් වැදලි
අපුල වු
ලේ කැටිති
පුරවාලනු
මිනිසත් කමේ
උණුහුම් දිය දහර

සන්නාලිය

හෙළුව වහන
සළුව වියන
රන් කඳ...

Tuesday, October 2, 2012

දෙනුවන් පානා

දෙනුවන් පානා ඉඳුවර ලීලා
සඳකැන් සේනා මල්වර වීලා
සිහිනෙන් සිහිනේ සරහා
හසමල් යහනේ පිපෙනා

සඳවත රූරා සඳදිය ගලනා
හදවත පාරා උණුදිය ගෙනෙනා
කඳුළෙන් කඳුලේ ඇලෙනා
දෙනුවන් දැහැනේ මිදෙනා

මධුවිත උතුරා දෙතොලත තෙමනා
උණුසුම තවරා සරතැස නිවනා
මොහොතින් මොහොතේ මැකෙනා
හදවත් පෙර සේ බැදෙනා