Tuesday, December 31, 2013

නැවතුම

දුම්රිය නැවතුමේ
බංකුවකට බර වී
ඈතින් ඇදෙන
දුම්රිය දෙස
නෙත් යොමා සිටියෙමි
නුඹ එතැයි
වෙනදා මෙන් ම

මා අසුන් ගෙන හුන්
තුන්වන මැදිරිය පාමුල
දුම්රිය නතර විණ
ඒ ඇසිල්ලට
සිතත් රැවටිණ
නුඹත්
මා අද්දර ලෙස ම

එහෙත් මොහොතකට පසු
තිරිංග මුදවා
දුම්රිය ඉදිරියට ඇදිණ
මා පසු කර
එ දවස
නුඹ මගෙන්
සමුගත් ලෙස ම
පීලි කිසිදා
හමු නො වන බව
සපථ කර

Wednesday, December 18, 2013

අහස

අහස් තලය ම පැහැබර යි
එ නමුදු
වැහි වලාවක සේයාවන්
ඈත ඉමක නතර වී

දැන් ම සමු අරන් යන්
මේ අහස අත්හැර

හිත රිදවීම

හිත රිදුණ ද මිහිරේ
මහද කළ සරදමින්
සිහින මංසල බිඳ දමා
ඉතින් හැරයනු මා දමා

යොවුන් දෙහදක
සුපිපි කුසුමක
සුවඳ පමණක් ම රඳවා
මිලින වී යන දිනකි අද

නුඹත් ඔහුත්
වෙරළ තීරෙක
තුරුළු වන්නට තනි ව හැරදා
සමු අරන් යන දිනකි අද

හිරු නොමැති පැය

මම දුරක ගියා
සඳ එළිය සොයා
මල් පිපෙන රැයේ
හිරු නොමැති පැයේ

මගේ සුසුම් දිගේ
රන් සුරතලියේ
තවමත් දැවටෙනවා
නුඹේ හැඟුම් රටා

මගේ ලවන් පුරා
රන් සුරතලියේ
තවමත් ඇළලෙනවා
නුඹේ හාදු රටා

සඳ සේ පින්සාරි

සඳ සේ පින්සාරියේ
නුඹෙ සිත් අහසෙ
සැරිසරන
තරු අත්අකුරු
ගළපන
පෙම්පත පිළිගන්
රෑ අඳුරෙ ම
ඊට පිළිතුරු එවාපන්

ප්‍රථම දසුන

ප්‍රථම දසුනින්
හද කැන්වසේ
කෝඩුකාරකමට
ඇන්දෙමි
පෙම් සිතුවමක්

ඒ සිතුවම
බොඳ කළ
ගැහැනිය
මේ කඳුළ
නුඹට කැප ය

මතක සැමරුම්

හද සුසුම් පිරි - නෙතු පියන් වැසි
ඉකි බිඳියි මහද හැඟුමන්
සිත පහන් නිවී - පෙම් ලොවින් මිදී
මා දවයි මතක සැමරුම්

මීදුමෙන් වැසි - කඳු මුදුන් පුරා
නුඹ එබෙයි අහස් සළුවෙන්
මල් සුවඳ රැඳී - මද පවන් සරා
මා සොයයි අහිමි සැනසුම්

රෑ ගිමන් නිවූ - සඳ දියෙන් තෙමූ
හිත හිඳියි අඳුරේ දැවෙමින්
නුඹේ සුවඳ රැඳි - නිදි යහන් පුරා
මා සිඹියි ඉහිරි කුසුමන්

ස්වර්ණ හංසියේ

ලෝචන යුග්ම දැහැන් බිඳා
දුහුල් සළුවෙන් මිදී
තරු රැයෙන් මිදෙන්නට පෙර
නඳුන් උයනට වඩිනු මැන
ස්වරණ හංසියේ

තිසර යුග්ම පියුම් තලා
සුනිල නදියෙන් මිදී
සඳ රැයෙන් මිදෙන්නට පෙර
සුරන් මැදුරට වඩිනු මැන
ස්වරණ හංසියේ

ලවන් යුග්ම ගිමන් නිවා
සිහිල් හිරිපොදින් තෙමී
මැදියමෙන් මිදෙන්නට පෙර
සඳුන් යහනට වඩිනු මැන
ස්වර්ණ හංසියේ

Saturday, December 14, 2013

මලක් ලෙස

මලක් ලෙස
පිපුණි නම්
පර ව යා යුතු ව ඇත
කවදාක හෝ
එහෙත්‍
හැකි තෙක්
සුවඳ දී

නටුව

පෙති එකින් එක
ඉවත් කර
තනි කළෙමි
නටුව
දැන්
ඇඟිලි තුඩු
ගැඹුරට
කටු කිඳෙයි

Friday, November 22, 2013

මධුවිත

මධුසමය දා
නො ඉඳුල්
ගැහැනියකගේ
දෙතොලතර
පා කළෙමි
සරතැස

නො ලැබීම

අන්ධ මිනිසෙකු කිසි කලක
නො පතනු ඇත ඇසක්
දනී නම්
පෙනෙන ලොව තුළ
කෙරෙන ජඩ වැඩ
බිහිරි මිනිසෙකු කිසි කලක
නො පතනු ඇත කනක්
දනී නම්
ඇසෙන දස අත
හැඬෙන දුක් හඬ
ගොළු මිනිසෙකු කිසි කලක
නො පතනු ඇත මුවක්
දනී නම්
මුවක් ඇති මුත්
කොතෙක් ජඩ වැඩ
අබිමුව
කෑ ගසා
එරෙහි වන්නට
නො හැකි බව

Sunday, November 3, 2013

පරණ පෙට්ටගම

කාලයකට පස්සෙ
දූවිලි වැකුණු
පරණ පෙට්ටගම
ඇර බලන්නට
සිත් විණ

ඒ සඳ
පුස්කොළ පොතක
බැඳි අකුරින් ලියවුණ
නුඹෙ යි මගෙ යි
ආදරයෙ
ඉපැරණි කථාව
මුණ ගැසිණ

ඇතැම් තැන්
මැකී ගොස් ය
තවත් තැන්
වේයන් විසින්
පහුරු ගා තිබිණ
එහෙත් එහි සුවඳ
තවත් එලෙස ය

මොහොතකට පසු
පරණ පෙට්ටගම
වසා දැමිණ
පුස්කොළ පොත
නිදන් කොට
ඒ මත
අලුත ගත් පොත
බරට තැබිණ

ආවස්ථික පිරිවැය

තේරිමක් කළ යුතු ය
නුඹ හෝ ඇය අතරින්
කැප කළ යුතු ය
ඉන් එක් අයෙක්
සපුරා ගනු වස්
අසීමිත හැඟීම්

දුක සැප

රළු පිඩැලි නැති
සමතලා බිම් ද
උස් ව නැගුණු
කඳු මුදුන් ද
සිසිල ගෙන හමන
වා රැළි ද
මඟ අහුර හැපෙන
වා සුළි ද
චණ්ඩ
හිරු රැස් ද
සෞම්‍ය
සඳ රැස් ද

දුක සැප මිටින් ගත්
ජීවිතය
හැර දමා
යා හැකි ද

මැඬියා

මඩ වලක
සුපිපුණ
නෙළුමකට

නො හැකි ද
පෙම් කරන්නට
මැඬියෙකුට වත්

සොඳුරු ගීයක්

අපට ගැයුමට
විරහ ගීයක්
ලියවිලා නැත
මේ ලොවෙ

මා පියෙකු කළ
ඔබ මවක කළ
පුංචි පුතු හට
ගයන්නට
ළමා ගීයක්
ලියවිලා නැත
මේ ලොවෙ

බිඳුණු හිත්
යළි හදන්නට හැකි
සොඳුරු ගීයක්
ලියවිලා නැත
මේ ලොවෙ

දික්කසාදය

ගත වුණු දෙවසර තුළ
එක ම නිවසක ගත වුණ
නීතියෙන් වෙන් කළ
නාඳුනන ජීවිත
නිමා කෙරුවෙමු
කසාදය කටු ගා දමා

සංසාරගත බැඳීම
ආත්මගත ප්‍රේමය
සුනු විසුණු කළ
ගැහැනිය
මම නුඹට
වෛර නො කරමි

ඔව්!

ඒ වෙනුවට
මම නුඹට
හෙටත්
ආදරය කරමි

වෙන්දේසිය

හැකි වේවි ද
මිලට ගන්නට
මා සතු
මනුෂ්‍යත්වය

දහසකට
ලක්ෂයකට
කෝටියකට
නැතිනම්
ඉහළ ම
ලන්සුවකට

Monday, October 7, 2013

අබිසරු අඟන

කම්තුරු පහසෙන්
නිරුවත් කල්බඳ
රිද්මෙන් සැලෙනු පෙනේ
උඩුකුරු කළ වත
දාහෙන් පෙඟෙනු පෙනේ

නිසසුරු දෙතොලෙන්
පියොවුරු තිසරුන්
පින්නෙන් තෙමෙනු පෙනේ
අබිසරු අඟනුන්
රාගෙන් රඟනු පෙනේ

පිවිතුරු ලිහමින්
විසිතුරු රුසිරුන්
තැල්ලෙන් මිදෙනු පෙනේ
නිසයුරු රහසින්
අහසෙන් බසිනු පෙනේ

Thursday, September 19, 2013

නවාතැනක් නැත

මධුවිත බඳුනක මිහිරට වහල් ව
මේ දිවි ගමන ම ගත වී යයි
දහසක් තැන්වල සක්මන් කළමුත්
සිත් සේ වසනට නවාතැනක් නැත

අන්ධකාරයෙන් පිය වී ගිය නෙත්
කණාමැදිරි එළි දහසක පැටලෙයි
මනසින් උමතු ව සඳකැන් විඳිමුත්
නිහඬ ව කරු කැට සැඟ වී ඇත

ගිම්හානයෙන් පර වී ගිය මල්
දිය සිඳුණු තුරු පතරක මියැදෙයි
සිහිනෙන් අවදි ව විමසනමුත්
වස්සාන පෙම අහිමි ව ඇත

Sunday, September 15, 2013

රහස

රෝස මලක්
තුරුළු කර ගෙන
දවසක්
මා වෙතට
ඇවිදින්
කඳුළු පිරි
දෙනෙතින්
කොඳුළ ඒ රහස
ඔබට පවසනු කෙලෙස

එ දවස

මම ඉඩ දුනිමි
ඇයට
උර තලය මත
හිස හොවා
සැනසෙන්න

එ පමණක් නො ව

සැනසුම් වදන්
දිවුරුම් ලෙසින්
මා මුව අගින්
ගිලිහී ගියෙන්

රෝස මල
මගෙ ම විය

මෙ දවස

නිර්දය ලෙස
මම ඇයට
දමා ගැසුවෙමි
රළු වදන් පෙළ

“ඔය රෝස මල
මගෙ නෙවෙයි නෙ

ඉනික්බිති
එතෙක් මතකයන් සිර කර
බැඳ තැබුණ
සෙනෙහස් පවුර
බිඳ වැටිණ

එහෙත් තවමත්
සඟවමි ඔබෙන්

ඒ රහස

Sunday, September 1, 2013

ආදරයේ ගිම්හානය

මටත් අවශ්‍ය යි
නිදහස සොයා යන්න
සම්ප්‍රදාය බිඳ ගත්
නො හික්මුණු
හිපි රැලක් එක්ක

මධුවිතින්
සප්පායම් ව
සත්සරින්
කුල්මත් ව
රමණයෙන්
මුසපත් ව
ජීවිතය
ආස්වාදනය කරන්න

සංස්කෘතික සාගරයෙන්
සදාචාර බැම්මෙන්
එහා කොදෙව්වක
ගිමන් හැර එන්න
මටත් අවශ්‍ය යි

එහෙත්
ආදරයේ ගිම්හානය
මගෙන් ඈතයි

Monday, July 15, 2013

බඹරු

සොඳුර
අපි යමු
මල් නෙළන්නට

බඹරු
එන්නට කලින්

Saturday, June 29, 2013

සිනමා හල

දවසක් අතීත ස්මරණයේ දී
නුඹව
මට මුණගැහුණා
සිනමා හලක
ද්වාරය අබියස දී

කොතෙකුත්
සිහිවටන
හමු විය
ඇස ගැටෙන
හැම තැන

විරාමය අතරතුරත්
නුඹව
තුරුළු කර ගෙන
නරඹපු
සිනමා පටය පවා
සිහි විය

දවසක් අතීත ස්මරණයේ දී
නුඹව
මට මුණගැහුණා

Sunday, May 19, 2013

විරාගී විචාරකයා

උඹ ලියන කවිවලින්
හරි අඩක් ම
කුණුහරුප

Friday, April 19, 2013

දිය කඳුළ

ඈත කඳු මුදුන සිට
හීනියට ඇද හැළෙන
නීල දිය කඳුළ
මීවිතකි තොල් පිනන

නීල වන ළැහැබ වෙත
රාත්‍රියට ඇද හැළෙන
සීත සඳ එළිය
හීනයකි නෙතු පුරන

නේක මල් වදුලු පිස
ආත්මයට සුව ගෙනෙන
ඈගේ පෙම් සුවඳ
ධ්‍යානයකි හිත නිවන

Wednesday, April 10, 2013

කැක්කුම

හදවතෙහි
සියුම් ම තැන
කොනිත්තලා
රිදුණ ද
කියලා
අහන්නේ...

ඒත්

කැක්කුමට
මං ආදරෙයි !

Sunday, April 7, 2013

අනුස්මරණය

කුණාටුවෙන් පසු
කැබලි වී ගිය
බඳුන
යළි එකලස් කළා
පළුදු වූ තැන්
සායම් යොදා
පිරියම් කර

කල් යත් ම
සායම් පතුරු ගැලවී
ඉරි තැලුණු තැන්
මතු වෙමින් ඇත

ප්‍රථම අනුරාගයේ
අනුස්මරණයේ
අනුපිළිවෙළට

Saturday, April 6, 2013

පශ්චාත් යුද සමය

නිදහසේ කිරුළ යැයි අප හිස පළන්
හැදෙන රට ගැන සිහින මවමින්
තුටු සිනහා ඉතිරෙන නෙත් අගින්
උන් නමින් කඳුළක්වත් නැහැ ඉතින්

කාසි සොයා අවතැන් තරුණියන්
වීදි පුරා ඇවිදිමින් නිදි වරමින්
යුද වැදි පොළොව මත තැනූ යහන්
වෙහෙස වී උන් ගත රතී කෙළියෙන්

සිවු දෙසින් මත් බිඟු සෙන් අවුදින්
නෙළා ගෙන යති මල්පැණි රිසි ලෙසින්
ප්‍රේමයේ නුපුරුදු හැඟුම් හිමි කර දෙමින්
උන්ගෙ සෙනෙහස පැන දුවයි පාන්දරින්

දිළිඳු බව උන් කර මත පැටවුයෙන්
යුද වැදුණු පොළොවේ උපන් මුත් පවින්
අත්වැල් ගැට ගැහෙන දා සැබෑ සාමෙන්
උන්ටත් බිම් කඩක් හිමි ය මහ පොළොවෙන්

Sunday, March 24, 2013

බූට් එක

අහෝ !
මල්සරාටත්
කෙල්ලෙක්
බූට් එකක් තියලා

Wednesday, March 20, 2013

මේඝ දූතය (දඬුවම් මාරුව)

වින්ධ්‍යා කඳු මත
රාමගිරි අසපුවට
නික්ම ආවෙමි
අලක පුරයෙන්

සන්ධ්‍යා වලා අත
ප්‍රියාදර සොඳුරියට
ලියා යැව්වෙමි
කඳුළ කවියෙන්

තවත් නැහැ පිළිතුරක් !

වැරදුණාවත් ද පාර
මතකයෙන් ගිලිහුණි ද
මං ලකුණු
හිමවතට මීදුම ද
කෛලාසයට ඝන වැසි ද

පවසන්න මා මිතුර
කොයි වෙද් ද මා සොඳුර

මගේ කුසුම
තනියෙන් ද
බිඟු සෙන්
ගැවසෙද් ද
වැළපෙමින්
සැතපෙද් ද
කුසගින්නේ
මියයද් ද

තවත් නොතකමි
කුවේර අණ
අද ම යමි
රාමගිරියෙන්
තවත් නොරැඳෙමි
සොඳුර ගෙන
පිටව යමි
අලක පුරයෙන්

සොයා යමි
පීඩිත අපට
කොහේ හෝ
ලොවක් ඇත

Tuesday, March 19, 2013

තහනම් අඩවිය

කලක් තිස්සේ
වනගතව තිබු
ගල් ලෙන
එළි පෙහෙළි කර
ඉදි කළෙමි එහි
නුඹේ පිළිරුව

වල් බිහි ව තිබු
ගල් ලෙනට පිවිසෙන
මං පෙත
පිළිසකර කළෙමි
නුඹට වඩින්නට
ආදරේ උත්තුංග මැදුරට

කෙමෙන්
දින
සති
මාස ගත විය
වල් බිහි වෙමින්
සඳ එළිය නොදකින
හිරු එළිය නොවැටෙන
වනරොදක
සැඟ‍වෙමින්

එහෙත්
තවමත්
ගරා ඇද වැටෙන
මන්දිරය තුළ
දිළිසෙමින් ඇත
නුඹේ පිළිරුව
ගන අඳුර නිවමින්

Saturday, March 16, 2013

රුසිරු අඟන

නිහිරි සලන දෙතොල් යුවළ
චුම්භනෙන් සුවය ගෙනෙන
රුහිරු පුරන හැඟුම් පහස
නුඹ කෙරෙන් පෙමෙන් බැ‍ඳෙන

තිසරු රඟන සිහිල් පොකුණ
දිය කෙළෙන් මිහිර ලබන
කුමුදු විලස සඳෙන් තෙමෙන
නුඹේ ළයෙන් සෙනෙහෙ විඳින

රුසිරු අඟන දැහැන් සරන
නෙත් අගින් කැලුම් සලන
මිහිරි තෙපුල සවන් පිනන
නුඹේ රැඟුම් උමතු කරන

Saturday, February 9, 2013

කෙටි පණිවිඩය

ඔයා
ඇස් අරින්න
දැන්

මං
ඇස් පියාගත්තා
සදහට ම

Tuesday, January 22, 2013

කලා භවන

ම’පියවර
නතර වූයේ
කලා භවනේ
කෙළවරක එල්ලෙමින් තිබූ
සිතුවමක් අබියස ය
එතෙක්
ඇවිද්දෙමි
පිංතූර ගොඩක් මැද්දෙන්

ඉක්බිති
සිතුවමේ
සියුම් රේඛා මත
සමපාත වන සේ
ඇගිලි තුඩු
ගෙන ගියෙමි
ඇගේ
දේහ හැඩතල
පිරිමදින අටියෙන්

ඉනික්බිති
අනවසර‍යෙන් ම
ඈ ළැම මත
ලිහිල්ව තිබූ
තන පට
උනා දැමීමි

........................

එ’විගස
දුටිමි
සිත්තරා පමණක්
එතුවක් දුටු
ඇගේ
පියවොරු යුවළ
කෙමෙන්
මා හද තුළ
ඉදි වෙමින් ඇත
කලා භවන

Monday, January 21, 2013

ප්‍රියාදර විජ්ජුලතා

ගිගුම් දෙයි
වැහි වලාවකට වහං වී
හෙණ හඬින් අකුණු සර
ගිනි පුපුරු වියරු වී
ලැගුම් ගෙන
ඉකි ගසයි
තැවුල් සෝ දුක්
සන්තාපයෙන්
වියෝග ස්මරණයෙන්
නෙත් කෙවෙනි තුළ
කදුළු කැට ඇත මිදී

ඒත් සොඳුරිය
මතක දෙවොලේ
අදත් නුඹ දෙවඟන
විජ්ජුලතා
මා ප්‍රියාදර විජ්ජුලතා

Sunday, January 13, 2013

ආලකමන්දාව

ඉඩෝරයෙන් ඉරි තැලී ගිය
වැව් පතුලේ තවමත්
ඉදි කරයි ඔහු
ආලකමන්දාවේ අනුරුව

ගෙබිම මායිම් ලකුණු කර
සතර කොන නිදන් කළා
ආරක්ෂක මුට්ටි
දහඩිය කඳුළු උණු කර
කහවණු කැට වැළලුවා
පාදම යට

පෝරණුව තුළ
දැවෙයි මැටි ගුලි
ගිනියම් වෙමින්
ගඩොල් ගල්
බැ‍ඳෙයි එකින් එක
මේසන් අතින්

දිනක කුලිය
රු. 1500/=
කෑමත් බීමත් නැතිව

බිරින්ඳෑගේ කනකර සැරසිලි අනා
පොඩි එවුන්ගේ සුරතල් හසරැලි පෙරා
කපරාරුව අහවරයි උලා

        ඇස්තමේන්තුව

සිමෙන්ති කොට්ට - 50
වැලි කියුබ්            - 2
ඔක්කොම             - 52 යි

වැහි වලාවක දෙයියන්ට
කන්නලව් කළත්
බාර හාර වුණත්
කොතරම්
නැත වුනේ පලක්

කලු වැහි වලාවක්
අඳුරු කර අහස ම
වැවට ඉහළින්
නතර වී
කරවටක් වැව් දියෙන්
ගිලී ගිය’මුත්
වැව් ඉස්මත්තේ තවමත්
සෙවිලි කරයි ඔහු
ආලකමන්දාවේ පියැසි