Sunday, January 13, 2013

ආලකමන්දාව

ඉඩෝරයෙන් ඉරි තැලී ගිය
වැව් පතුලේ තවමත්
ඉදි කරයි ඔහු
ආලකමන්දාවේ අනුරුව

ගෙබිම මායිම් ලකුණු කර
සතර කොන නිදන් කළා
ආරක්ෂක මුට්ටි
දහඩිය කඳුළු උණු කර
කහවණු කැට වැළලුවා
පාදම යට

පෝරණුව තුළ
දැවෙයි මැටි ගුලි
ගිනියම් වෙමින්
ගඩොල් ගල්
බැ‍ඳෙයි එකින් එක
මේසන් අතින්

දිනක කුලිය
රු. 1500/=
කෑමත් බීමත් නැතිව

බිරින්ඳෑගේ කනකර සැරසිලි අනා
පොඩි එවුන්ගේ සුරතල් හසරැලි පෙරා
කපරාරුව අහවරයි උලා

        ඇස්තමේන්තුව

සිමෙන්ති කොට්ට - 50
වැලි කියුබ්            - 2
ඔක්කොම             - 52 යි

වැහි වලාවක දෙයියන්ට
කන්නලව් කළත්
බාර හාර වුණත්
කොතරම්
නැත වුනේ පලක්

කලු වැහි වලාවක්
අඳුරු කර අහස ම
වැවට ඉහළින්
නතර වී
කරවටක් වැව් දියෙන්
ගිලී ගිය’මුත්
වැව් ඉස්මත්තේ තවමත්
සෙවිලි කරයි ඔහු
ආලකමන්දාවේ පියැසි