Wednesday, September 19, 2012

නික්ම යාම

දහඩියෙන් පෙඟී ගිය වැරහිලි ඇඳන්
මීවිතෙන් තවා දුක කඳුළැලි දරන්
පාවෙමින් ඔහේ හිත වලාකුළු මැදින්
සීතලෙන් ගැහී ගුලි කම්මැලි කමින්

ඇබෑර්තු ඇත !

තරුණයෝ පෙළ ගැසෙති
පෝළිමේ සිට ගනිති
හිඟා කන හැටි බලති
එකා පසුපස එකා

 “ගෙනාවද ඇමතිගෙන් ලියුමක් ?

පාරමී පුරන්න බැහැ
බෝසතුන් වගේ
ඇට දිරෙනකං
ලේ හිදෙනකං
මස් හැලෙනකං

“ඉඳා බත් එක කාපං”
අම්මගේ ආදරේ
දරා ගන්න බැහැ මට
මට සමාවෙන්න
මං මහා කාලකන්නියෙක්

ගන අඳුර - තද සුළඟ
ගිනගෙන වියරුවෙන්
නළියන - තරු රෑන්

ලණුව කෝ සුසුම් සිර කරන
මී බඳුන කෝ දෙතොල් තෙත් කරන
තවත් බැහැ ඉන්න මට
අම්මේ මං යනවා යන්නට