Thursday, November 15, 2012

කරදිය ගැඹුර

කරදිය ගැඹුර වෙත ඔරුකඳ පදවනවා
මැදියම අහස වට කළුවර පුරවනවා
සඳතරු අහුර දැක හදවත නවතිනවා
ගංදිය දහර වෙරළෙ දි මට හමුවෙනවා

සුරතල් සතෙකු අසු වූවොත් මාදැලට
ගෙන යමි පුතුන් දෙදෙනා හට දඟලන්ට
එනකන් නොකර කරදර හිරිහැර අම්මාට
නින්දට වැටෙනු සාවුනේ සඳ තොටිල්ලට

කරගැටවලට දෑතේ ඉරණම් ඉර මැකිලා
හිරිකඩ වදින සීතේ උණුසුම් වෙමි කෙළෙසා
සයුරට ඇදෙන ඔරුවේ බර කර වැටෙනා
ජලකඳ පමණි අසනුයේ කවි හූමිටි දෙමිනා

දහඩිය කඳුළ දුක සුළඟට දැවටෙනවා
ගොරහැඩි චණ්ඩ රළ වෙරළට ගොඩලනවා
කරුමය ගෙවා අලුයම හෙට පිබිදෙනවා
ගොරතර සසර කවදා අප ගොඩවෙනවා