Saturday, April 18, 2015

එතෙර ගිය පුතුට

බාල කල පුයර මුසු
නුඹේ කිරි සුවඳ
තව ම තියෙනවා
පෙනහළු ගැඹුරක
විටින් විට මම
දුම් පයිප්පය
මුවට ළං කර
මතක් කරමි ඒ මතක

මහගෙදර තිබු ඉඩම
කට්ටි කොට
වෙන්දේසි කළ වග
කථා වෙනවා මං අහගෙන
මහලු ගෙට ලියුම් ගෙන එන
පියුම් ධර්මෙ භාරකරු සමග

මසකට වරක් උඹ
මගේ ගිණුමට
මුදල් බැර කරනව ලු
ඊටත් මහලු ගෙයි
අලුත හදන බිල්ඩිමට
වැඩි ම මුදලක්
දුන්නෙත් උඹ ලු

උපන් රට අතහැර
දුර රටක වෙසෙන
‍උඹේ සැපදුක අසා
ලියුම් කඩදහියක් වත්
ලියාගන්නට දැන්
අත්වලට වාරු නෑ මගේ

මං බලන්නට
මෙහේ නාවට
කමක් නෑ මගෙ පුතේ
මහලු තනිකම
හොඳට පුරුදු යි දැන්
අම්මා නැතිවුණ දා ඉඳන්

හැම ඉරිදා දිනක ම
පන්සලේ පොඩි හාමුදුරු නමක්
බණට වඩිනවා මහලු ගෙට
සැඳැ කල මම
ගලා යන ජීවිතය දෙස
බලා ඉමි මැදහත් සිතින්

No comments:

Post a Comment