Thursday, July 21, 2022

සමබිමක හමුවීම

දශකයක මෙපිට දහතුන් වස සපිර
එහි ගියෙමි මම වසන්තයක අබිමුව
හුස්ම පිඹ පිඹ ජීවිතය දුන් තැන
අදත් එහි එම සුසුවඳ විඳිමි මම
 
නෙක මල් ලිහී ගිය වීදි දිග
සකුණ මියැසියකි අරුමැසි
උකුසු ඇස් මග හැර ඉගිල
පලා ගිය කලකි ප්‍රථම වස

ළය බැඳුණ ඇසුරකට සමවැද
සමබිමක හමු විය දෙවැනි වස
සියපත් පිපුණ විල්දියක තෙත
ඇහැට හුරු කළ මතකයක ඇරඹුම

තුන් වසක් වන විට මුහුකුරා ගිය
සබඳකම් විය අප අතර අප ම වුණ
සිව්දිග හමන නිදහස් සුළඟ ලෙස
ආගිය තැන් අදත් සිතියම් ව ඇත

ගමනක් නිමා වී යා යුතු බව කියන
කවියක විය එක පෙළක් මහ නපුරු
සිව්වසක කෙළවරට විත් නැවති
ඉතිරි වුණ හිතක් ඇත පණ පිඹින

No comments:

Post a Comment