Thursday, July 21, 2022

බිරිඳ

තෙහෙට්ටුව ඇස් දෙකට හිර කර බස් රියේ අසුනකට වී
කල්පනාවක හිටියෙ මං ඇය ළඟට විත් පමාදැයි අහද්දී
මඳ සිනහවක් මවා ගත්තෙමි මම අසුන කෙළවර ඈට දී
නිදහසට තතු කියයි ඈ දැන් මුව දෙනක ලෙස තුරුළු වී

කාලෙකින් අපට මහගෙදර යන්නත් බැරි වුණානේ සිරී
අම්මා අප්පච්චිත් මඟ බලන් ඇති දැකගන්න ඈ කියද්දී
ඵහෙ ම නම් මේ සති අන්තයේ ගමට යමු නගරෙන් මිදී
මගේ බස ඇසී ඕ ඉගිල්ලෙන්නට හදයි කිරිල්ලියක සේ

පුතත් දැන් පාළුවෙන් ඇති ගෙදරට වෙලා පන්තිය ඇරී
නංගියෙක් මල්ලියෙක් වත් හිටිය නම් සෙල්ලම් කරද්දී
ඵහෙම නම් තව පැටියෙක් හදමු අපි කැමති ද මං අහද්දී
තාම මනමාල හිත වෙනස් නැති බව ඈ කියයි කෝල වී

මාසේ පඩිපත අහවරය ගෙට ගත්ත බැංකු ණයටම කැපී
අනෙක් වියදම් සියල්ල ම කැපේ ඇගේ පඩියට හිලව් වී
උදව් වෙමින් උහුලන්න මහ බර පිරිමියකු උර මත වැටී
සිහින ලෝකයක නො වේ ඇය මහ පොළොව මත හිඳී

සංසාරයේ හුරුපුරුදු ලෙස අපි පෙමින් බැඳී ඵනවා ඇති
දුකේ දිත් සැපේ දිත් ළඟින් ඉන්නවා මං සත්ත ම යි සිරී
දයාබර ගැහැනියකි ඈ නම් උතුම් ගතිගුණ වලින් හෙබි
ඇගේ වදනකින් ජීවිතයේ කටුකත්වය යයි ඉවතට ඇදී

කුඩා ගස්වල පැතුම

කුඩා ගස් වූ අප
අතු රිකිලි මත
පූදිනා මල්
ඵල දරනු ඇති
දිනක

ඉනික්බිති ඒ ඵල
මහා තුරු විලස
වැඩී අප පසු කර
මහා ඵල බෙදනු ඇත
ලොවට

පින් කර ඇති කඳුළු

ඇගේ ඇස අග තනි මකන්නට
සිනාසෙන කඳුළු බිඳු එක දෙක
බොහෝ කල් පින් කරන්නට ඇති
සැනසුමක් වන්න ඉඳහිට හරි

වැහිලිහිණියෝ ඉගිලෙන්න

වසත් ඍතුව එන්න නියමිත වන බැවින්
අහස සරසමි කලු වලාවන් කිහිපෙකින්
කඳුළු පොද එක දෙක ගිලිහෙන බැවින්
වැහිලිහිණියෝ ඉගිලෙන්න දැන් ඉතින්

වටිනා ම දෑ මතක් කර රැගෙන යනු එහි
අහසකින් එකතු කරගත් සඳකැන් පොදි
අමතක යමක් වෙතොත් ගෙන යා හැකි
මං ලකුණු බොහෝ වෙයි ඉතිරි වී මෙහි

ළපටි කොඳ මල් තව පිපෙන්නට ඉඩ දී
වැව් අමුණු පුරවන්න ගම්බිම් ඉහළට වී
මහපොළොව මගබලන් වැළඳගනු රිසි
සිව් වසක ගිමන් හැර නික්මෙන්න සකි

හිස්කම

මහවිසල්
අහසට වුව
හිස්කමක්
කියන්නේ
උරුමයක්

පුරහඳ

ගනඳුර
නිදියන
රැයක
පුරහඳට
අයිතිය
අහස

පොහොර

බොහෝ මව්ගස්
මිය ගොස් ය
ළපටි ගස් වෙත
පොහොර වනු වස්

නිහඬ බව

මේ ලෝකෙ
දුෂ්කර ම තැන
නිහඬ බව

පුදුමයි
එක දවසක මම
තව දවසක ඇය

ගෙඹි පැටියෙක් අසයි

ඇඳ යට සිට ඉඳහිට
ගෙඹි පැටියෙක් අසයි
කවු‌‌ළුවෙන් එපිට හිඳ
අඬගසන්නේ මට
අම්මා නො වෙ ද

නිවන තැන

හිත නිවන තැන
ඔබ දකිමි මම

දියකඩිති

නිසසල
වනවදුලු මැද ය
සුපැහැදිලි
දියකඩිති ඇත්තේ

තරු රැසක දීප්තිය

තරු රැසක දීප්තිය
නුඹේ ඇසින් දිස් වීම
මොන තරම් අපූරු ද

අප්පච්චි ල දෙන්නෙක්

අපි හැමෝටම
අප්පච්චි ල දෙන්නෙක් ඉන්නවා

සම්මාන දිනපු
එයාගේ එක පොතක
එහෙම තියෙනවා
මං දැක්කෙ
අහම්බෙන් වගෙ

ඒත් එයා
අපි ආදරය කරන කාලෙවත්
එහෙම දෙයක්
මං එක්ක කියල නැහැ

එයාට කොහෙන් ද
අප්පච්චි ල දෙන්නක්
හිටපු එක ම අප්පච්චිත්
අපි බැඳලා ටික දවසක්
ලෙඩ ඇඳෙ ඉඳලා
මැරිලා ගිය කොට

අඬදබර

වළාකුලු දෙකක්
ඉඳහිට
ගැටෙයි

අකුණක් දෙකක්
පොළොවට
පාත් වෙයි

සෙවනැලි මතක

අලුයමේ හිත පිපෙන පිනි
සියුමැලි මලක තවරමි
මදඅඳුර හැර යන සඳ මත
සෙවනැලි මතක අලවමි

දිගු නිහැඬියාව

ඉතා ම සුවපහසු නින්දකින් පසු ව වුව
බොහෝ කලබලයෙන් මෙන් ඔබ ඇහැ ඇරී නැත

එහෙත් දිගු නිහැඬියාවකි හාත්පස පරිසරය

ලා කොළ පැහැති තුරු ගොමු අතර
ඔබට නො ඇසේ ද කුරුලු කිචිබිචිය
පාන්දර ඇහැර ගෙන උන් මිහිරි ලෙස
කුමක් ගැන මේ තරම් දොඩමලු වන්නේ ද?

ඔබ කෙසේ නම් එය දන්නේ ද?

ලෑලි ඇතිරූ කුඩා සයනයක කම්මැලි ව
ඒ අතට මේ අතට ඔබ පෙරළේ තව ම
පමා වී පැමිණෙන උදයක නො දැක ලා හිරු
බොහෝ නිදිවැරූ රැයක් ඔබෙන් නික්ම යයි

දැන් නිහැඬියාව පෙරළෙයි මහා ඝෝෂාවකට

ඔබ ඇහැ ඇරෙයි
මා මිය යයි
එක්වර

රතු රෝස මල් පඳුර

ඔබ තෑගි කළ රතු රෝස මල් පඳුර
ආදරෙන් හිනා වෙනවා තාම මං එක්ක
අතරින් පතර කටු අමෝරා ගත් නටු
බලන් ඉන්නවා ළඟට එනකම් රිද්දන්න

කවි ලියන විට එක මලක් පුරුද්දට
මා දෙසට හැරෙනවා හාද්දක් ඉල්ලගෙන
මල් පෙති දෙකකට වහන් වුණ ඇස්
හෙමින් පියවෙනවා කම්මුල් නොදකින්න

අඳුර වැටුණ ම කවුළුවෙන් එපිට සිට
මල් පඳුර ඉසිනවා රෝස සුවඳක් සුළඟට
කවුළු දොර ඇර ඉන් එක සුළං අහුරක්
හොරෙන් කැඳවනවා කාටවත් නොදැනෙන්න

ඉතා දිගු විරාමයක් මැද

හුස්මක් වුව ගනිමි සැකයෙන්
කිවිසුමක් යන විට සැඟවෙමි
ඉඳහිට ගෙල මත අත තබා බලමි
ඔබ තියා ඇද්දයි උණුහුමක්

සැලෙමි බියවෙමි ඇහැරෙමි
සාලයට පැන ගමි

හතරැස් කොටුවකින්
වෙනත් ලෝකයකට
බිරිඳ ගෙන පැන යමි
සිංහල හින්දි දමිළ ඉංග්‍රීසි
සිනමා රසික මම ඇය

අතරින් පතර ප්‍රවෘත්ති විමසමි
ප්‍රස්තාරයක ඔබ ඉහළ පහළ
යන අයුරු බලමි සසඳමි

නැගිටිමි කමි බොමි
ඔබ ළඟ වත් දැයි හැරී බලමි
අත හෝදමි

නවකතාවක් පරිවර්තනයක්
පත්තරයක් කොළ කෑල්ලක් හරි
අතට ගෙන පුටුවක හරිබැරි ගැහෙමි
දුරකතනය ඔබමි
චූන් පාන් නළා හඬ ඇසෙන විට
දිව යමි බලමි රැවටෙමි

කෑම ලෑල්ලට එන කුරුල්ලන්
උන්ගෙ කිචිබිචිය මද සුළඟ
ගහකොළ විඳිමි
ළබැඳියන් සිහිකරමි

අලුත එන ළපැටි පැළ අමතමි
ඔබ ඉක්මනින් යනු ඇතැ යි පතමි

තණ ගසක ළදැල්ල

වැහි වැටෙන විට හවසට
උඩුකුරු ව හිනාවෙන
ගස් අගිස්සක පිපුණ
මල් පොකුරක එක මලකි
මම

වතුර කැට එක දෙක එකට
පීල්ලක ඇවිත් අවසන
බඳුනකට එකතු වුණ
ජල කඳක එක බිඳකි
මම

උදලු ගෑ පසු සැඟව සිට
හුස්මක් දෙකක් අරගෙන
බිම් කඩින් මතු වුණ
තණ ගසක ළදැල්ලකි
මම

මහපොළොව

මහපොළොව බදා ගෙන
එක මොහොතකට හරි
දුකසැප අහන එක
කොයි තරම් නම් සැනසුමක් ද
ඇයට

අතුපතර මල්ඵල
දරා ගත නොහැකි
මහ ගසක් යට හිඳ
ගස හෙළන
සුසුම් සුළඟකට
කන් දෙමු

ඒ තුර දරාගත් විඩාබර
සිඳෙන තුරු

තරුපොකුරු විසිරුණ
සරා සඳ අහිමි
විසල් අහසක් දෙස
බලා ගෙන ඉමු

දුක හිතුණ දවසට
වැස්සක් වෙලා
වැටෙන හැටි ඇය

ඉන්පසු ව
හිනාවෙනවා
ඇය