Wednesday, February 28, 2018

මිනිසෙක් වූ සෝපාක

නෙක පැහැ විදුලි බුබුළු සවිකර
සැනකෙලි වෙස් ගත් මෙපුරවර
පුරසඳ සදිසි ව ගුවන පොබකර
එසඳ කොහෙද දුරැලු ව කලුවර

සැදැහැත් දන සාධු නද නංවා අැසි
තරගයට මෙනි උනුන් පරදන රිසි
පෙරමග ලකුණු වූ බුදුවරු අටවිසි
සෝපාක ළඟ අපුල ය කියනු නිසි

සංසාර බිය ගර්හාව නො ව
චණ්ඩාල වුව මිනිසෙක් ය

සුවඳ විලවුන් ගැල් වූ උවැසියන් අතර
දම් අැසුම අකැප සෝපාක පිටමං කර
එ‍ක තැනක දම් දෙසුමෙ මැද වී නතර
සංසාරය ම අපුල බව දෙසයි එහිමිවර

එක පැහැයකි විදුලි බුබුළු සියල්ල ම
දිවි සමය අවසන පිළිස්සී යයි නිවී ම
එ විට ගන අඳුර විනිවිද දකී නම් මම
ගනඅඳුර ද නොරැඳ යනු අැත නිවී ම

සංසාර බිය ප්‍රහීණ කළ
ගෞතම ව හැඳින ගත්තේ
මිනිසෙක් වූ සෝපාක ය

No comments:

Post a Comment