Monday, March 14, 2016

අප්පච්චි

ගිනියම් තාර පොළොවේ ගැටී
දෙපා ඉරිතැලුණු තැන් නො පෙන්වා
සියුමැලි දෙපා දසැඟිලි ඔසවා
අැවිදින්න හුරුව දුන්නේ නුඹ යි
අප්පච්චි

දුක්බර ම ඉසව්වල ගොස්
රසබර ම දෑ සොයා ගෙන විත්
මුව තියා සිනා මල් පිපෙන තෙක්
කුසගින්නෙ ම උන්නේ නුඹ යි
අප්පච්චි

සෙනඟ ගැවසෙන තැන්වල
ඉවෙන් මෙන් පසුපස අැවිත්
මඟ හැරුණු දැයි සැකෙන් ඉද්දි
ළඟට විත් බදා ගත්තේ නුඹ යි
අප්පච්චි

කර්කෂ කොළොම් තොට
දහක් ගැරහුම් රැවුම් අබියස
කිසවකුට අත නො පා ඉන්නට
හිතට වාරුව දුන්නේ නුඹ යි
අප්පච්චි

නිවන් පුර යන්නට මත්තෙන්
ඉපැදෙනා බවයක් අැතොත්
රාහුල ම වී සිදුහත්ට දාව
අතැගිල්ලක ඵල්ලී ඵන්න අවසර
අප්පච්චි

No comments:

Post a Comment